ගංවතුර බැස යයි: තවදුරටත් ප්‍රදේශ රැසකට වැසි

ගංවතුර බැස යයි: තවදුරටත් ප්‍රදේශ රැසකට වැසි

by Staff writer 26-05-2018 | 7:30 PM
COLOMBO (News 1st) - පැවති තද වැසි තත්ත්වයේ අඩුවක් සිදු වූවත්, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පවතින අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වන විට පුද්ගලයින් 55,555 ක් කඳවුරු 265ක රඳවා ඇති බව ය. ගංවතුර මට්ටමේ සියලු ගංගාවල ජලය බැස යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට තවදුටරත් වැසි ඇදහැලෙමින් පවතින බව අප වාර්තාකරුවෝ පවසති. ඒ සමග අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ගංවතුර අවදානම් තත්ත්වයේ පවතියි. මේ සමග ගම්පහ - ගනේමුල්ල ප්‍රධාන මාර්ගය අද දහවල් වන විටත් අඩි 4ක් පමණ ජලයෙන් යට වී තිබිණි. එම ජලය පහළට ගලා ඒමත් සමග ජා-ඇළ ඇළ පිටාර දැමීම ආරම්භ වී ඇති අතර, ජා-ඇළ නගරයේ පහත් බිම්, බෝපිටිය යන ප්‍රදේශ අද පස්වරුව වන විටත් ජලයෙන් යට වී තිබිණි. ජල මට්ටම මෙලෙස ඉහළ යාමත් සමග ජා-ඇළ දෙපස බැම්ම කැඩී යාමේ අවදානමක් මතුව තිබේ. මෙම අවදානම තේරුම් ගත් ප්‍රදේශවාසීන් පසුගිය බදාදා සිට බැම්ම දෙපස වැලි කොට්ට දැමීම ආරම්භ කළ අතර අද නාවික හමුදාව ද ඊට සහය දුන්නේ ය. පුත්තලම හා අවට ප්‍රදේශවලට අඛණ්ඩව ඇඳ හැලුණු වැසි තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතියි. ඒ සමග ගංවතුර තත්ත්වය ද ක්‍රමයෙන් පහව යමින් පවතින බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. කෙසේ වෙතත්, මදුරන්කුලිය - කුඹුක්කඩවල මාර්ගයේ පාලමක් කැඩී යාමෙන් එම මාර්ගයේ ගමනා ගමනය මුළුමනින් ම ඇණහිට තිබේ. හලාවත හා ඒ අවට ප්‍රදේශවලට අදත් තරමක තද වැසි ඇඳ හැලුණි. හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය මාදම්පේ - මහවැව අතර ප්‍රදේශය ස්ථාන කිහිපයකින් අද පස්වරුව වන විටත් ජලයෙන් යට වී තිබිණි. මේ අතර ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පවුලක් මුදා ගැනීමට නාවික හමුදාව හා පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගත්තේ ය. කුරුණෑගල අවට ප්‍රදේශවලට ඇද හැලුණු වැසි තත්ත්වය ද මේ වන විට අඩු වී තිබේ. ඒ අතර පඬුවස්නුවර, මගුලාගම පාලම ආසන්නයේදී ගංවතුරට හසුව ඊයේ ගසාගෙන ගිය 43 හැවිරිදි පුද්ගලයා සොයා අදත් නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් දියත් කළේ ය. ගංවතුර පවතින මොහොතේ යතුරු පැදියකින් ඒ හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී ඔහු ගංවතුරට ගසාගෙන ගොස් තිබිණි. කළුතර දිස්ත්‍රික්කයට බලපෑ අඛණ්ඩ වැසි තත්ත්වයත් මේ වන විට පහව ගොස් තිබේ. කෙසේ වෙතත් කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් යට වී තිබූ ඉංගිරිය, බෝධිනාගල ප්‍රදේශය අද පස්වරුව වන විටත් ජලයෙන් යටවී තිබිණි. ගාල්ල දිස්ත්‍රික්කයට ඇඳ හැලුණු තද වැසි ද මේ වන විට පහව ගොස් තිබේ. ඒ සමග මහ ගංවතුර මට්ටමක පැවති ගිං ගගේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම අද උදෑසන වන විට මීටර් 3.80 දක්වා පහත බැස තිබිණි. කෙසේ වෙතත් පහත් බිම් කිහිපයක අද පස්වරුව වන විටත් සුළු ගංවතුර තත්ත්වයක් දක්නට ලැබිණි.