කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය අභියෝගයට - මහාචාර්ය කොල්වින් ගුණරත්න පෙන්වා දෙයි

by Staff writer 26-05-2018 | 10:42 PM
COLOMBO (News 1st) - කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ක්‍රියාවට නැංවිම තුළින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම අභියෝගයට ලක් වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙන්වා දෙයි. වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා මේ බව පෙන්වා දී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමිනි. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ ලිපියෙන් නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ක්‍රියාත්මක වීම ඔස්සේ සිදුවිය හැකි ප්‍රතිවිපාක 10ක් පෙන්වා දී තිබේ. වෛද්‍ය උපාධියක් ප්‍රදානය කිරීම සඳහා වෘත්තීය ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. එහෙත් නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතින් මෙම අනුමැතියෙන් තොරව වෛද්‍ය උපාධි ලබා දීමට ප්‍රතිපාදන සලසා ඇතැයි අදාළ ලිපියේ සඳහන් ය. තවද වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතීන් නොසලකා උපාධි පිරිනැමීමට අවස්ථාව ලබා දීම, උසස් අධ්‍යාපන ඇමතිවරයා හා සෞඛ්‍ය ඇමතිවරයා අභිබවා එම ක්ෂේත්‍රවල කටයුතු කිරීමට ආරක්ෂක ඇමතිවරයාට ඉඩ සැලසීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය නොවන උසස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම හා කොතලාවල ආරක්ෂක ඇකඩමිය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථ උල්ලංඝණය වීම ද මෙමගින් සිදුවන බව මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පෙන්වා දෙයි. මෙම කරුණු පෙන්වා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති විය හැකි අර්බුදකාරී තත්ත්වය වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය.