ආපදා තත්ත්වයෙන් 19 දෙනෙකුට ජීවිත අහිමියි

ආපදා තත්ත්වයෙන් 19 දෙනෙකුට ජීවිත අහිමිවෙයි

by Sagarika Chathumali 26-05-2018 | 2:15 PM
COLOMBO (News 1st)  : දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 141625ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 20 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. මේ අතර අයහපත් කාලගුණයෙන් අවතැන් වූ 53,616 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථාන 231 ක රඳවා ඇති බව ද ඔහු පැවසී ය. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අපදා තත්ත්වයෙන් නිවාස 4600 කට හානි සිදුව ඇති බවයි. මේ අතර මාඔය පිටාර ගැලීම හේතුවෙන් මේ වන පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ගංවතුර මට්ටම ඉහළ ගොස් ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ එන්.ඒ.කේ.ඒ.අලහකෝන් මහතා පැවසී ය. ඔහු පැවසුවේ, මේ වන විට නාත්තන්ඩිය, මහවැව, වෙන්නප්පුව, දංකොටුව, මාදම්පේ, කරුවලගස්වැව ඇතුළු ස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බවයි. මහවැව, මට්ටකොටුව සින්දාතිමාතා දේවස්ථානයේ මීසම්පාලක නෙවිල් සෙබස්තියන් පියතුමා පැවසුවේ ගංවතුර හේතුවෙන් අද පෙරවරුවේ දේව මෙහෙයට පැමිණි පියතුමන් 50 දෙනෙකු ගංවතුරට කොටුවී සිටි බවයි. මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දැදුරුඔය පිටාර ගැලීමෙන් බිංගිරිය, රස්නායකපුර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක ජනතාව පීඩාවට පත්ව සිටින බවයි. මේ අතර අත්තනගලුඔයේ සහ මා ඔයේ ජල මටට්ම ඉහළ යාම හේතුවෙන් තවදුරටත් ගම්පහ ජා-ඇල ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.අජිත් නිශාන්ත මහතා පැවසී ය. ඔහු ප්‍රකාශ කළේ, ගම්පහ ජාඇල මාර්ගයේ ද ස්ථාන කිහිපයක් ගංවතුරින් යටවී ඇති බවයි. මේ අතර කැලණි ගඟ , අත්තනගලු ඔය ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මටට්ම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ ය. මේ අතර පස් කඳු කඩා වැටිම් හා නායයාම් හේතුවෙන් අවහිරවී තිබූ බොහෝ මාර්ග මේ වන ගමනා ගමන කටයුතු සඳහා යථා තත්ත්වයට පත්කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි නඩත්තු අංශයේ අධ්‍යක්ෂ කමල් අමරවීර මහතා පැවසුවේ, කඩා වැටීමට ලක්වූ කුලියාපිටිය ප්‍රදේශයේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතුද කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මකයි. ඒ අනූව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කුරුවිට සහ ඇහැළිගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, අරණායක සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඊට ඇතුළත් ය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා නයායාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය ක්‍රියාත්මකයි. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඇල්පිටිය, කඩවත්සතර, නාගොඩ, නෙළුව සහ තවලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි. මේ අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට දිවයින ආශ්‍රිත මුහුදේ සුළගේ වේගය පැයට කිලෝමිටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේ ය.