පුත්තලමේ ජල ගැලීම් තවදුරටත් ඉහළට

පුත්තලමේ ජල ගැලීම් තවදුරටත් ඉහළට

පුත්තලමේ ජල ගැලීම් තවදුරටත් ඉහළට

කර්තෘ Sagarika Chathumali

26 May, 2018 | 7:49 am

COLOMBO (News 1st)  : තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ එන්.ඒ.කේ.ඒ. අලහකෝන් මහතා සඳහන් කළේ, මේ වන විට නාත්තන්ඩිය, මහවැව, වෙන්නප්පුව, දංකොටුව, මාදම්පේ, කළුවරගස්වැව ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බවයි.

පුත්තලම දිස්ත්‍රික්කය හරහා ගලා බසින මාඔය, ලුණුඔය හා රතඹලාඔයද පිටාර ගලා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ජල ගැලීම්වලින් සිරවූ පිරිසු මුදා ගැනීමේ මෙහෙයුම් අද අලුයම දක්වාම ක්‍රියාත්මක විය.

උඩප්පුව ප්‍රදේශයේ සිරවී සිටි එවැනි පවුල් 15 ක් අද අලුයම නාවික හමුදා කණ්ඩායමක් විසින් මුදාගත් බව සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.

දිස්ත්‍රික්කයේ ජල ගැලීම්වලින් පීඩාවට පත් සංඛ්‍යාව 30,000කට අධිකයි.

කඳවුරුගතව දහතුන් දහසකට අධික පිරිසක් ජීවත්වන බව ද එන්.ඒ.කේ.ඒ.අලහකෝන් මහතා සඳහන් කළේ ය.

මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දැදුරුඔය පිටාර ගැලීමෙන් බිංගිරිය, රස්නායකපුර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක ජනතාව පීඩාවට පත්ව සිටින බවයි.

මේ අතර අත්තනගලුඔයේ සහ මාඔයේ ජල මටට්ම ඉහළ යාම හේතුවෙන් තවදුරටත් ගම්පහ ජාඇල ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.අජිත් නිශාන්ත මහතා පැවසී ය.

ඔහු ප්‍රකාශ කළේ, ගම්පහ ජා-ඇල මාර්ගයේ ද ස්ථාන කිහිපයක් ගංවතුරින් යටවී ඇති බවයි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවේ, මේ වන විට කැලණි ගඟ , අත්තනගලුඔය ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මටට්ම මේ වන විට පහළ යමින් පවතින බවයි.

මේ අතර රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කුරුවිට සහ ඇහැළිගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, අරනායක සහ මාවනැල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ඊට ඇතුළත් ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා නයායාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය ක්‍රියාත්මකයි.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඇල්පිටිය, කඩවත්සතර, නාගොඩ, නෙළුව සහ තවලම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලටයි.

මේ අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත් වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන් කළේ ය.

ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට දිවයින ආශ්‍රිත මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමිටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේ ය.