රත්මලානේදී සිදු වූ නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතනය

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතනය පිටුපස පාතාල කණ්ඩායමක්

by Staff writer 25-05-2018 | 12:16 PM
COLOMBO (News 1st) - දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා මහතාට වෙඩි තැබීමේ සිද්ධිය පාතාල කණ්ඩායමක් විසින් සිදු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකා ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අංජු නමැති පාතාල නායකයාට අයත් පිරිසක් වෙඩි තැබීම කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය. වෙඩි තැබීම සිදු කර ඇත්තේ, සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු බව හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා මහතා මිය ගියේ, රත්මලාන ඥානේන්ද්‍ර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙනි. ඉන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබති. මිය ගිය මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු 62කි. ඔහු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා යි. තුවාලකරුවන්ගෙන් එක් අයෙකු දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා ධීවරයෙකි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ ආරම්භ කර තිබේ.