ගුණදාස කපුගේ එක ම තනුවට ගැයූ අපූර්ව ගී ත්‍රිත්වය

ගුණදාස කපුගේ එක ම තනුවට ගැයූ අපූර්ව ගී ත්‍රිත්වය

by Staff writer 25-05-2018 | 1:17 PM
ගුණදාස කපුගේ යනු කිසි දා මරණයට පත් වන කලාකරුවෙකු නොවේ. ඔහු අමරණීය කලාකරුවෙකි. ඔහු අමරණීය වන්නේ, හොඳ හඬක් හිමිව තිබූ හුදු ගායකයෙකු පමණක් නිසා නොවේ. ඔහු කලාත්මක පද රචනා තෝරා බේරාගෙන ජනතාව සඳහා නිර්මාණකරණයේ නිරත වූ විශිෂ්ටයෙකු වන නිසා ය. ඔහු ගැයූ විශිෂ්ට ගීත රැසක් මෙරට රසිකයින් වැඩි දෙනෙකු රස විඳ නැති බවට සැකයක් නැත. වාසනාවකට එම නිර්මාණ රැසක් Youtube තුළින් සොයාගත හැකි ය. අවාසනාව වන්නේ, වත්මන් පරම්පරාවේ බහුතරය එම ගීත ඇසීමට ප්‍රිය නොකිරීමත්, එම ගීතවල අර්ථය වටහා ගැනීමට තරම් බුද්ධිමත් නොවීමත් ය. මෙම ලිපි පෙළෙහි මූලික අරමුණ ගුණදාස කපුගේ යළි කියවීමට වත්මන් පරපුරට ඇරයුම් කිරීම යි. මෙම ලිපියෙන් අවධානය යොමු කරනුයේ, කපුගේ මහතා එක ම තනුවක් යොදා නිර්මාණය කළ ගීත තුනක් හඳුන්වා දීම යි. ඉන් පළමු ගීතය රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලද "සොඳුර නුඹ ලිහිණියක" ගීතය යි. සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මම ද ලිහිණියෙකු වෙමි කැඩුණු තටු පිරිමදින...// අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින සිඳී ගිය ගඟ දෑළ හැර දැමූයේ කවුද සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්න ද බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය කටුක දුක් විරහ මැද අතරමං වී ගිය ද අපි තව ම පෙම් කරමු අපේ ජීවිතවලට කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනක ගායනය: විශාරද ගුණදාස කපුගේ ගී පද: රත්න ශ්‍රී විජේසිංහ තනුව: විශාරද ගුණදාස කපුගේ [embed]https://www.youtube.com/watch?v=48sFOoUluYk&pbjreload=10[/embed] මෙම තනුවට සමාන තනු නිර්මාණයක් අනුව පහත දැක්වෙන ගීතය ද නිමවා තිබේ. එම ගීතයේ ගේය පද රචකයා දර්ශන මේදිස් ය. සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැළයට වසින නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන ගායනය: විශාරද ගුණදාස කපුගේ ගී පද: දර්ශන මේදිස් තනුව: විශාරද ගුණදාස කපුගේ [embed]https://www.youtube.com/watch?v=2LuKaQkpM_M[/embed] මෙම ගීතය දර්ශන මේදිස් කවියාගේ කඳුළු මිටියාවත කෘතියේ ඇතුළත් - උතුරින් දකුණට - පද්‍යය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත. එම සම්පූර්ණ පද්‍යය පහත දැක්වේ. 'උතුරින් දකුණට' - දර්ශන මේදිස්ගේ 'කඳුළු මිටියාවත' කෘතිය සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය කඳුරු වෙමු එකම කන්දෙන් වැටෙන වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන මුරුගසන් වැස්ස වෙමු දැවෙන කැලයට වහින චන්ඩ පවනක් නොවෙමු දෙරණ අතුගා දමන මන්ද මාරුතය වෙමු දෙකොන සිපගෙන හමන නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන යකඩ පිත්තල නොවෙමු රජුන් උඩ පැන තලන බුරුත-කොස්-නැදුන් වෙමු උනට එසවිය නොහෙන පිදුරු-පොල් අතු නොවෙමු පැරණි ගෙට සෙවිලි වන සබඳ අපි ගඩොලු වෙමු අලුත් ගෙපැලක් බඳින මේ අතර, ගුණදාස කපුගේ නිකුත් කළ අවසන් ගී සමුච්චය වූ - මිරිවැඩි සඟලක් - ගී එකතුවට අයත් වූ ඩබ්ලියු. ඒ. අබේසිංහ කවියා රචනා කළ - රාත්‍රිය මම වෙමි ය - ගීතයේ තනුව ද ඉහත තනුවට සමාන ය. රාත්‍රිය මම වෙමි ය සුදු සුමුදු මල් කැකුළ පිනිබරව හෙට උදෑසන පිපෙන මල් කැකුළ ගනඳුරේ සැඟව ඇති ශාන්‍තිය හා නින්ද ඔබට පුද දී දෙනත පියා හිඳිනෙමි සොඳුර... මලක් වී හෙට උදේ ඔබ පිපෙන සුබ මොහොත කලක් සිට මම බලාගෙන හිඳිමි පිය කැකුළ වසන්තය සේ පැමිණ හොරෙන් යම් කිසි දිනෙක ඔබේ පෙති අතර පිනි බිඳක් වී සැඟවෙමි ය... ඔබ එළිය වූ මොහොත මම අඳුර වෙමි සොඳුර ඔබ ජලය වූ සඳේ මම පවස වෙමි නිබඳ දිග ම දිග රාත්‍රිය සෙමෙන් පියවර මනිත ඵලක් වී නෙත් හරින ඒ ප්‍රභාතය ඔබය... ගායනය: විශාරද ගුණදාස කපුගේ. ගී පද: ඩබ්.ඒ.අබේසිංහ තනුව: විශාරද ගුණදාස කපුගේ [embed]https://www.youtube.com/watch?v=XLfhwmJbBYk[/embed] මෙම ගීත ත්‍රිත්වයෙහි ම තනු නිර්මාණකරු ගුණදාස කපුගේ ම ය. මෙම ගීතවල තනුවට අමතරව එහි අර්ථවත් බව කෙරෙහි ද අධ්‍යයනයක නිරත වීමට ඔබට ඇරයුම් කරමි. - කුමුදු ජයවර්ධන