ගංවතුරින් විපතට පත් වැසියන්ට සරණක් වූ සහන යාත්‍රාව

ගංවතුරින් විපතට පත් වැසියන්ට සරණක් වූ සිරස - ශක්ති සහන යාත්‍රාව

by Chathuranga Rajapaksha 25-05-2018 | 7:43 PM

COLOMBO (News 1st) - විපතට පත් ජනතාව වෙනුවෙන් මෙරට කාරුණික හදවත් ඇති මිනිසුන් ලබාදුන් පරිත්‍යාග රැගෙන අද දෙවන දිනටත් සිරස - ශක්ති සහන යාත්‍රාව දිස්ත්‍රික්ක 2 ක් බලා ගමන් කළේය.

සිරස - ශක්ති සහන යාත්‍රාව අද දිනයේ ගමන් ඇරඹීමට පෙර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට ශාක්‍ය මාලකයේදී ආගමික වතාවත් සිදුකෙරිණි. අනතුරුව උදෑසන 7ට පමණ නිව්ස්ෆස්ට් කණ්ඩායම අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වු පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්ක බලා ගමන් ආරම්භ කළේය. එලෙස මහජන ආධාර රැගත් එක් කණ්ඩායමක් පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය සහ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පීඩාවට පත් ජනතාව සොයා ගියේය. අනෙක් කණ්ඩායම රත්නපුර දිස්ත්‍රික්කයේ ජලගැලීම හේතුවෙන් විපතට පත් ජනතාව සොයා ගියේය. ඒ අනුව අප කණ්ඩායම රත්නපුර නගරයට තරමක් නුදුරින් පිහිටි දම්ඹුලුවන ගම්මානයට ළඟා වුණේ අතිශය දුෂ්කර මාර්ගයක් ඔස්සේයි. රත්නපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් ද එහිදී විපතට පත් ජනතාවට භාණ්ඩ බෙදා දීම වෙනුවෙන් නිව්ස්ෆස්ට් හා එක්විය. මේ අතර සිරස - ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් අද දිනයේත් බොහෝ දෙනෙකු කොළඹ 2 බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට ද්‍රව්‍යාධාර ගෙනවිත් භාර දුන්නේය.