යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි

අයහපත් කාලගුණයෙන් යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි

by Staff writer 25-05-2018 | 11:48 AM
COLOMBO (News 1st) - අධික වැසි සමග ඇති වූ ගංවතුර සහ නාය යාම්වලින් යල කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි ලබා දීමට රජය තීරණය කර තිබේ. කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසුවේ, සිදු වූ හානි සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ශාඛාවකට හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානයකට දැනුම් දිය යුතු බව ය. ඒ අනුව වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු සහ මිරිස් යන භෝග සඳහා වන්දි පිරිනැමෙනු ඇති. අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, උපරිම බිම් ප්‍රමාණය සහ වගාවේ අවධිය පිළිබඳව සිදු කරන ලද පරීක්ෂා කිරීම්වලින් පසු වන්දි ලබා දෙන බව ය. වගා හානි තක්සේරු කිරීම සඳහා අදාළ ප්‍රදේශ වෙත නිලධාරීන් යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. සිදුව ඇති හානි පිළිබඳ තොරතුරු 1918 දුරකතන අංකය ඇමතීමෙන් ද ලබා දිය හැකි ය.