අද ත් වැසි තත්ත්වයේ වර්ධනයක්

අද ත් වැසි තත්ත්වයේ වර්ධනයක්: පුද්ගල මරණ 12 දක්වා ඉහළට

by Hashini De Mel 24-05-2018 | 6:52 AM

COLOMBO (News 1st) - අද ත් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත් ඇතුලු ප්‍රදේශ රැසකට අද දිනයේ මිලිමීටර් 100 - 150 ත් අතර තද වැසි ද ඇතිවිය හැකි බවයි. මේ අතර ඊයේ දහවල් සිට අද අලුයම දක්වා ගාල්ල ප්‍රදේශයට මිලිමීටර් 69.3 ක් කුරුණෑගලට මිලිමීටර් 40.05 ක්, මන්නාරමට මිලිමීටර් 38.7 ක් හා යාපනයට මිලිමීටර් 57.5 ක වර්ෂාපතනයනක් ලැබී ඇති බවයි. පවතින අපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18 ජනතාවට බලපෑම් එල්ලවී තිබේ. අපදා කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ, මේවන විට පුද්ගල මරණ 12 වාර්තා වී ඇති අතර පීඩාවට පත් ව ඇති ජනතාව එක් ලක්ෂ පන්දහස් තුන්සිය පනස් දෙක දක්වා ඉහළ ගොස් ඇති බවයි. කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින හෙයින් කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් ස්ථානවල වෙසෙන, ජනතාවට තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී ඇත. තව ද පුත්තලම සාලියවැව නීල බැම්ම අමුණ වාන් දමමින් පවති. ඊට හේතුව ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, රාජාංගනය ජාලාශයේ වාන් දොරටු විවෘත කිරීමයි. සාලිය නිල බැම්ම අමුණ වාන් දැමීම හේතුවෙන් පුත්තලම, වනාතවිල්ලාව හරහා මන්නාරම මාර්ගය තවමත් ජලයෙන් යටව පවති.