Update: කළුතර හා රත්නපුර ජනතාවට රතු එළියක්

UPDATE: කළුතර හා රත්නපුර වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි උපදෙස්

by Staff writer 23-05-2018 | 6:56 AM
COLOMBO (News 1st) - Updates ප. ව 8.55 : කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින හෙයින් කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශවල වෙසෙන, ජනතාවට ආරක්ෂිත ස්ථාන යන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. ඒ, කළුතර, මදුරාවල, දොඩංගොඩ, හොරණ, පාලින්ද නුවර, බුලත්සිංහල, ඉංගිරිය, මිල්ලනිය, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත යන ප්‍රදේශවල ජනතාවටයි. ප. ව 7.00 : කළු ගඟේ ජල මට්ටම තව දුරටත් ඉහළට, කළු ගඟ ආශ්‍රීතව ඇති පහත් බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. කළුතර, මදුරාවල, දොඩංගොඩ, හොරණ, පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය, මිල්ලනිය, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත, රත්නපුර, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වෙත සිටින ජනතාවට අනතුරු අඟවා ඇති අතර ඉදිරි පැය කිහිපය තුළ ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ප.ව 6.00 : රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් රතු නිවේදන නිකුත් කෙරේ. ප.ව 5.44 : අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 105,352 දක්වා ඉහළට, මරණ 11යි. අවතැන් වූ 40,491 දෙනෙකු කඳවුරු වෙත - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප.ව 3.44 :  කළු ගඟේ ජල මට්ටම යළි ඉහළ යාම හේතුවෙන් කඳවුරුවල සිටින ජනතාවට ඉවත්ව නොයන ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් දැනුම්දෙයි. ඇය සඳහන් කළේ, මේ හේතුවෙන් යළි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. ප.ව 3.14 : රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. ඒ හේතුවෙන් ජලාශය පහළ ජනතාවට විමසිලිමත් වන්නැයි උපදෙස්. ප.ව. 2.17 : ආපදා තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමටත් ගංවතුරට හසුවූ නිවසක් පිරිසිදු කිරීමට රුපියල් 10000ක මුදලක් ලබා දීමටත් රජය තීරණය කර තිබේ. ප.ව. 1.15 : සබරගමුව, බස්නාහිර, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 - 150 පමණ තද වැසි වාර්තා වේ. ප.ව. 1.00 : අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී තිබෙන බව වාර්තාවේ. ඊට හේතුව විදුලි උප පොළවල් කිහිපයක් අක්‍රිය වීම බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය. ප.ව.  12.30 : ආපදා තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යයි. පුද්ගලයින් 84943කට පීඩා: අවතැන් වූ 27621 දෙනෙකු කඳවුරු වෙත. ගිං ගඟේ ජල මාපකය පිටාර මට්ටමේ පවතින අතර එය සටහන් වන්නේ මීටර් 4.58ක් ලෙස යි.
‍පෙ.ව 7.00  -   දිනයේ වැසි තත්ත්වය යළිත් ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම ඇතුළු පළාත් කිහිපයකට අද දිනයේ තද වැසි ඇති විය හැකි ය. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ ඉතා තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. වැසි ඇති වන අවස්ථාවල තාවකාලිකව එම ප්‍රදේශවල තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඊසාන, වයඹ හා බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද ඉහළ යා හැකි බව ය. මේ අතර දිස්ත්‍රික්ක 14කට බලපා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වූ 24000කට අධික පිරිසක් තවදුරටත් කඳවුරුගතව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, වර්ෂාවෙන් 68000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ය. අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 9කි. කැලණි, කළු ,ගිං හා නිල්වලා ගංගා තවදුරටත් ස්ථාන කිහිපයකින් ගංවතුර මට්ටමේ පවතින බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ය. මේ අතර අප වාර්තාකරුවන් පවසන්නේ, ඊයේ රාත්‍රියේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ අඩුවක් පැවති බව ය. මේ අතර අධික වර්ෂාවත් සමග ඊයේ රාත්‍රියේ උඩවලව ජලාශ්‍රයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් ජලාශ්‍රය පහළ වළවේ ගඟ භාවිත කරන ජනතාව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.