හෙට දිනයේත් ප්‍රදේශ රැසකට අධික වැසි

හෙට දිනයේත් ප්‍රදේශ රැසකට අධික වැසි

by Hashini De Mel 23-05-2018 | 9:12 PM

COLOMBO (News 1st) - අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 84,000 ක් බව කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අවතැන්වූවන් රඳවා ඇති සුබසාධක කඳවුරු කිහිපයක අප ප්‍රාදේශිය වාර්තාකරුවන් අද සංචාරය කළහ. බුලත්සිංහල, පරගොඩ ප්‍රදේශයෙන් කුකුළේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 15 ක් පමණ අවතැන්ව සිටි. ඔවුන් ඊයේ පස්වරුවේ සිට පරගොඩ කණිෂ්ට විද්‍යාලයේ රැඳී සිටිනු ඇත. කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් පිටාර ගැලීමත් සමග නිවාස යට වූ රත්නපුර, ගොඩිගමුව අවට පවුල් 80 ක ජනතාව මේ වනවිටත් රැඳී සිටින්නේ ගොඩිගමුව මුස්ලිම් දේවස්ථානයේයි. රම්බොඩ වෙදමුල්ල ලෙල්ලීස්ලැන්ඩ්වත්ත නායයෑමේ අවදානම හේතුවෙන් පවුල් 105 ක් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ. ඔවුන් මේවන විට තාවකාලිකව රැඳී සිටින්නේ රම්බොඩ හින්දු විද්‍යාලයේයි. කැලණි ගඟ කැලණි නදීගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අවතැන්ව සිටිනු ඇත. ඔවුන් මේ වන විට වැල්ලම්පිටිය කොටුවිල ගාමිණි විද්‍යාලයේ සුබසාධක කඳවුරේ රැදී සිටි. මේ අතර මහවැලි ගඟ නාවලපිටිය පැණිගොඩමුල්ල ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් පවුල් 15 කට වැඩි පිරිසක් අවතැන් විය. ඔවුන් මේ වන විට නාවලපිටිය, වේලුවනාරාම විහාරස්ථානයේ සුබසාධක කඳවුරේ රැදී සිටි. මේ අතර නාවලපිටිය සොයිසාගල ප්‍රදේශයේ සිදු වූ නැයයෑමක් හේතුවෙන් අවතැන් වූ පවුල් 12 ක් පමණ නාවලපිටිය නගර සභා ශාලාවේ රැඳී සිටි. ශ්‍රී ලංකා නාවික හමුදාව රත්නපුර ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙත පිසු ආහාර ලබාදීමේ ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මේ වන විට ඔවුන් රත්නපුර නව නගරයේ සීවලි ක්‍රීඩාංගණ පරිශ්‍රයේ කන්ටේනර් රථ හතරක අති නවීන උපකරණ භාවිත කරමින් මෙම කටයුත්තේ නිරතව සිටි. තවද අද දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විටත් වැසි ඇද හැලෙමින් පවති. හෙට දිනයේදී ද මීලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාවක් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. අධික වර්ෂාවත් සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඒ ආශ්‍රිතව පහත් බිම් රැසක් අද ත් ජලයෙන් යට විණි. වැල්ලම්පිටිය, වෙලේවත්ත, කැලණිනදී ගම, සේදවත්ත, ගෝතමී මාවත ආදී ප්‍රදේශ ගණනාවක් ද ජලයෙන් යට විය. පවතින අපදා තත්ත්වය පිළිබඳ විමසා බැලීමට නිව්ස්ෆස්ට් කණ්ඩායමක් අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණි. නිල්වලා ගඟ මාතර, කද්දුව ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් කද්දූව පානදුගම, බලකාවල යන ප්‍රදේශ රැසක් අදත් ජලයෙන් යට විය. පැවති අධික වර්ෂාවත් සමග තබ්බොව ජලාශයට ජලය ගලා යන රදවිබැදිඇල ස්ථාන දෙකකින් කැඩි ගොස් තිබේ. ඉන් පිටාරගලන ජලය ඒක්රැස් වූ දෙවලකන්ද වැවේ බැම්ම දැන් බිඳීයාමට ආසන්න තත්ත්වයකට පත් ව ඇත. ගිං ගඟේ ජල මට්ටම මේ වන විට ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පැවසූහ. බද්දේගම නාගොඩ මාර්ගය, බද්දේගම අගලිය මාර්ය, බද්දේගම දොඩංගොඩ මාර්ගය ඇතුළ තව ත් මාර්ග රැසක් අද ත් ජලයෙන් යට විණි. කැලණි ගඟ පිටාර ගැලීමෙන් මල්වාන දොම්පේ මාර්ගය, රැසක් අද ත් යට විය. කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පැවසූවේ, හෙට දිනයේදීත් අධික වැසි පැවතිය හැකි බව යි. අද දිනයේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇද හැලුණු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.