අයහපත් කාලගුණය නිසා ජීවිත 9ක් අහිමි වෙයි

අයහපත් කාලගුණය නිසා ජීවිත 9ක් අහිමි වෙයි

by Sagarika Chathumali 22-05-2018 | 10:14 AM

COLOMBO (News 1st)  : අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, වැඩි ම පිරිසක් අකුණු අනතුරු හේතුවෙන් මිය ගොස් ඇති බවයි. මේ වන විට පවතින ආපදා තත්ත්වය හමුවේ, පුද්ගලයින් 38,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ද එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා සඳහන් කළේ ය. පවතින ආපදා තත්ත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4000කට ආසන්න පිරිසක් පීඩාවට පත්වන ඇතැයි, කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කළේ ය. රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවේ, පවතින ආපදා තත්ත්වය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක පවුල් 3980 ක් පීඩාවට පත්ව ඇති බවයි. මාතර දිස්ත්‍රික්කයේ පවුල් 9 කට අයත් පුද්ගලයින් 38 දෙනෙකු පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇතැයි, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කළේ ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 921 ක පුද්ගලයින් 3531 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එම්.ජී.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, දිස්ත්‍රික්කයේ නිවාස 191 ක් අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානිවූ නිවාස සංඛ්‍යාව තුනක් බවයි. මේ අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ ය. අද පෙරවරු 8 .30න්, අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 194 . 8 ක් වූ වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ලක්ෂපාන ප්‍රදේශයෙන් මිලි මීටර් 126.6 ක්, නෝර්ටන් ඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 124 ක්, කොත්මලේ ප්‍රදේශයෙන් මිලි මීටර් 123 .4 ක් හා දුම්මලසූරිය ප්‍රදේශයෙන් මිලි මීටර් 107 .9 ක වර්ෂාපතනයක් ලැබී තිබේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය 27 වන දා තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යෂක අතුල කරුණානායක මහතා සඳහන් කළේ ය.