නාවික හමුදාවේ කණ්ඩායම් 27ක් ආපදා මෙහෙයුම්වල....

නාවික හමුදාවේ කණ්ඩායම් 27ක් ආපදා මෙහෙයුම්වල....

by Sagarika Chathumali 22-05-2018 | 12:53 PM

COLOMBO (News 1st)  : ආපදාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව සහන කණ්ඩායම් 27 ක් යොමු කර තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසුවේ, බස්නාහිර පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැලසීමට සුදානමින් ආපදා සහන කණ්ඩායම් 10 ක් යොදවා ඇති බවයි. එමෙන්ම සබරගමුව පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් ආපදා සහන කණ්ඩායම් 13 ක් සහ වයඹ පළාතේ සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් 4 ක් යොදවා තිබේ. නාවික හමුදා සහන කණ්ඩායම් මගින් ආපදාවට පත් පුද්ගලයින් 172 දෙනෙකුට සිය සේවය ලබා දී ඇතැයි නාවික හමුදා මුලස්ථානය සඳහන් කළේ ය. සාමාජිකයින් 94 දෙනෙකුගෙන් සමන්විත නාවික හමුදා සහන කණ්ඩායමක් මේ වන විටත් නවගමුව ප්‍රදේශයේ බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කර තිබේ. නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම විශේෂ යාත්‍රා බලඝනයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් සිය මෙහෙයුම් මේ වන විට ආරම්භ කො‍ට ඇතැයි ඔහු සඳහන් කළේ ය. ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ස්ථාපිත ඇති ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය ක්ෂණික අවශ්‍යතාවකදී භාවිතයට ගත හැකි ලෙස ජංගම මුළුතැන් ‍ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප සහ ජංගම වැසිකිළි ආදි උපකරණ රැගත් ට්‍රක් රථ කිහිපයක් රත්නපුර දිස්ත්‍රික්කය බලා පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.