කාලගුණික තත්ත්වයෙන් වැඩිම බලපෑම පුත්තලමට

කාලගුණික තත්ත්වයෙන් වැඩිම බලපෑම පුත්තලමට

by Hashini De Mel 22-05-2018 | 8:12 PM

COLOMBO (News 1st) - වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වූයේ පුත්තලම දිස්ත්‍රික්කයටයි.

ජල ගැලීම් හේතුවෙන් මාදම්පේ, පොතුවිල් ප්‍රදේශයේ නිවාස රැසක කොටුවී සිටි ජනතාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ මෙහෙයුම් අද පෙරවරුවේ ක්‍රියාත්මක විය. ඊයේ දහවල් සිට නේවාසික වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක කොටුවී සිටි විවිධ ආබාධ සහිත දරුවන් හා ගුරුවරුන් ඇතුළු 28 දෙනෙකු ද මෙහිදී බේරාගැනුනේ ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් ය. මේ අතර මාදම්පේ, කුලියාපිටිය ප්‍රධාන මාර්ගය - පොතුවිල ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබූ අතර හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය ද මාදම්පේ ප්‍රදේශයෙන් ජලයෙන් යට විය. කලාඔය පිටාර ගැලීමෙන් පුත්තලම මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් ජලයෙන් යට විය. මේ අතර තබ්බොව ජලායට ජලය ගලා එන රදවිබැදිඇල ස්ථාන දෙකකින් කැඩි ගොස් තිබේ. ඉන් කුඹුරු අක්කර 80 ක් පමණ ජලයෙන් යට විය. පිටාරගැලූ ජලය ඒක්රැස් වූ දෙවලකන්ද වැවේ ද බැම්ම මේ වන විට පවතින්නේ අනාරක්ෂිත තත්ත්වයකිනි. මේ නිසා ගම්වාසීන් වැව් බැම්ම කෑඩියාම වලක්වා ගැනීම සඳහා පිටවාන පුළුල් කිරීමට පියවර ගෙන ඇත. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඒ ආශිතව පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. අද දහවල් වන විට මල්වාන නගරය ද ජලයෙන් යට වූ අතර ගම්පහ කඩුවෙල මාර්ගය බියගම සියඹලාපේ ප්‍රදේශවල ද මාර්ග අවහිර විණි. මේ අතර කැලණිමුල්ල හා කැලණිය පෙතියාගොඩ ප්‍රදේශ ජලයෙන් යට විය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආසන්නය ජලයෙන් යටවීමෙන් නිසා ජනතාව අද දහවල් කටුනායක - කොළඹ අධිවේදී මාර්ගය අසළට පැමිණ සිටියේ ය. සීතාවක ගඟ පිටාර ගැලිීමෙන් අවිස්සාවෙල්ල - නුගේවත්ත ප්‍රදේශ නිවාස රැසක් තවමත් ජලයෙන් යටවී ඇත. කුකුළේ ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල, මෝල්කාව පරගොඩ ප්‍රදේශය තවමත් ජලයෙන් යටවී තිබේ.