මුම්බායි ඉන්ඩියන්ස් IPL සිහිනය බොඳ වෙයි

මුම්බායි ඉන්ඩියන්ස් IPL සිහිනය බොඳ වෙයි

by Sagarika Chathumali 21-05-2018 | 10:07 AM

COLOMBO (News1st) පසුගිය වර ශූරයින් වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉවත් වීමට සිදුවිය.

ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 11 කින් පරාජය වීමත් සමගයි. තරගය දිල්හි හී ෆෙරෝශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 174 කි. රිශාබ් පාන්ත් පන්දු 44 කදී හතරේ පහර 4 ක් හා හයේ පහර 4 ක් සමගින් ලකුණු 64 ක් රැස් කළේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි විජේ ශන්කර් හතරේ පහර 3 ක් හා හයේ පහර 2 ක් සමගින් පන්දු 30 කදී ලකුණු 43ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී කෘනාල් පාන්ඩ්‍යා , ජස්ප්‍රිට් බුම්රා හා මයාන්ක් මාර්කන්ඩේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. අනතුරුව ලකුණු 175 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 163 ක් පමණි. ආරම්භක පිතිකරු සූර්යකුමාර් යාදෙව් ලකුණු 12 කට දැවී ගියේ ය. ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 31 කදී ලකුණු 48යි. ඔහුගේ ඉණිම හතරේ පහර 3 කින් හා හයේ පහර 4 කින් වර්ණවත් විය. බෙන් කටිං ලකුණු 37ක් රැස් කළේ ය. මුම්බායි කණ්ඩායමේ අන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කීරීමට දිල්ලි පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී සන්දීප් සන්දීප් ලැමචනියේ, හර්ෂල් පටීල් හා අමිත් මිශ්රා කඩුළු 3 බැගින් දවා ගත්හ. පසුගියවර ශූරයින් වූ මුම්බායි කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග 14 න් තරග 6 ක් පමණක් ජය ගත් අතර අනෙක් තරග 8 ම පරාජය වීම හේතුවෙන් මූලික වටයේ ඔවුන්ට හිමිවුයේ 5 වන ස්ථානයයි. දිල්ලි කණ්ඩායම සහභාගී වූ තරග 14 න් තරග 9 ක් පරාජය වී අනෙක් තරග 5 පමණක් ජය ගත් අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත් විය. ඒ අනුව එම කණ්ඩායම් දෙකමට අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි වූයේ නැහැ.