කැලණි ගඟ දෙපස ජනතාවට රතු එළියක්

කැලණි ගඟ දෙපස ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි උපදෙස්

by Hashini De Mel 21-05-2018 | 6:13 PM

COLOMBO (News 1st) - Update - කැලණි ගඟේ ගංවතුර මට්ටමක් ඇතිවීම දක්වා පැමිණීම හේතුවෙන් සීතාවක, කඩුවෙල හා කොළොන්නාව ප්‍රදේශවල පහත්බිම්වල ගඟ දෙපස ජනතාව ඉවත් කිරීමට පියවර ගත් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කංනන්ගර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ පිරිස් ආරක්ෂිත ස්ථානවලට යොමුකර ඇති බවයි. අද සවස 6.00 පමණ වන විට එම ප්‍රදේශවලින් පවුල් 200 ක් පමණ ඉවත් කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.
කැලණි ගඟ ආසන්නයේ සිටින වැලම්පිටිය, මුල්ලේරියව ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථානවෙත පිටත්ව යන ලෙසට පොලීසිය ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් උපදෙස් ලබා දී තිබේ. පොලීසිය සඳහන් කළේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එක්ව ආරක්ෂත ස්ථාන 24 ක් ස්ථාපිත කර ඇති බවයි. -----------------------------------------------------------------------------------------------------------------------------------------

හංවැල්ල සිට කොළඹ දක්වා කැලණි ගඟ දෙපස ඉතා ආසන්නයේ වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ආපදා කළමානකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පොලීසිය හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් ලබා දෙන උපදෙස් අනුව ඉවත් වන ලෙසයි. කැලණි ගඟේ නාගලගංවීදිය ජල මාපකය ආශ්‍රීත ජල මට්ටම ඉහළ යමින් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.