දිස්ත්‍රික්ක 5 කට රතු නිවේදන

දිස්ත්‍රික්ක 5 කට රතු නිවේදන : ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන්නැයි අනතුරු ඇඟවීම්

by Hashini De Mel 20-05-2018 | 4:46 PM

COLOMBO (News 1st) - Update - ගත වූ පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්ක 5 කට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ලැබී ඇති බැවින් හා තවදුරටත් වැසි අදහැලෙමින් පවතීනම් ආරක්ෂිත ස්ථාව වෙත යන ලෙස ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම රතු නිවේදනය නිකුත් කළේ, අද රාත්‍රි 7.30 සිට බලපැවැත්වෙන ලෙසයි. එම ප්‍රදේශ වන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කලවාන සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ය. ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නාගොඩ, ගාල්ල සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, වලල්ලාවිට සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද මීට ඇතුළත් ය. තව ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, බුලත්කොහුපිටිය, අරණායක සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද ඇතුළත් වනු ඇති. -----------------------------------------------------------------------------------------------------------------------------------------

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි. මේ අතර අත්තනගලු ඔයෙහි ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන්, මීගමුව, ජා ඇල, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වාසය කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටි.