කෝලිගේ රෝයල් චැලේන්ජර්ස් IPL තරගාවලියෙන් ඉවතට

කෝලි ප්‍රමුඛ රෝයල් චැලේන්ජර්ස් IPL තරගාවලියෙන් ඉවතට

by Chathuranga Rajapaksha 20-05-2018 | 8:44 AM

(News 1st) - විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තීරණාත්මක තරගය පරාජය ලකුණු 30 කින් වීමත් සමගිනි. ජයිපූර් හි සවායි මන්සිං ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් රැස් කළේය. ආරම්භක පිතිකරු රාහුල් ත්‍රිපාති පන්දු 58 කින් නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් හා හයේ පහර 3 ක් ඇතුළත් විය. නායක අජින්කයා රහනේ ලකුණු 33 ක් රැස් කළ අතර හෙන්රි ක්ලාසන් ලකුණු 32ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී උමේෂ් යාදෙව් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව ලකුණු 165 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 134 ක් පමණි. ඒ.බී. ඩිවිලියර්ස් ලකුණු 53 ක් රැස් කළ අතර පාතිව් පටෙල් ලකුණු 33 ක් රැස් කළේය. ටිම් සවුති හා මොහොමඩ් සිරාජ් ලකුණු 14 බැගින් රැස් කළේය. රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට රාජස්ථාන් පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී ශ්‍රෙයාස් ගෝපාල් කඩුළු 4 ක් දවා ගත්තේය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග 14 න් තරග 6 ක් පමණක් ජය ගැනීමට සමත් වූ අතර අනෙක් තරග 8 ම පරාජය වීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට හිමිවුනේ 6 වන ස්ථානයයි.