ඇමති මංගලගෙන් ගෝඨාභයට චෝදනා..

ඇමති මංගලගෙන් ගෝඨාභයට චෝදනා

by Hashini De Mel 20-05-2018 | 8:29 PM

COLOMBO (News 1st) - රටේ වත්මන් ආර්ථික තත්ත්වයට බලපෑ කරුණු හා පැවති පාලනයේ දූෂිත ක්‍රියාකාරකම් සඳහන් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය කරුණු 16 කින් සමන්විතය. පසුගිය රජයේ දූෂණ වංචා හා අක්‍රමිකතා පෙන්වාදෙමින් සමරවීර මහතා පැවසූවේ, රට නැවත විපත් මගට ඇද දැමීමේ උත්සාහයක හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බවයි. මේ වන විටත් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අධිකරණයේ සහ පොලීසියේ පරීක්ෂණ රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මින් පෙන්වා දේ. ඒ අතර, 1. දූෂිත මිග් යානා ගනුදෙනුව. 2. රාජ්‍ය වියදමින් මාපියන් වෙනුවෙන් ස්මාරක ඉදි කිරීම. 3. මාධ්‍යවේදීන්ට පහරදීම සහ අතුරුදන් කරවීම. 4. දූෂණය සහ භීෂණය පැතිරවීම 5. නීති විරෝධී අවි ගබඩා මගින් රජයට අය විය යුතු ආදායම් අහිමි කිරීම ආදී කරුණු සඳහන් ය. රාජපක්ෂ පවුලේ සමාජිකයින්ට එරෙහිව ද මේ හා සමාන චෝදනා විභාග වෙමින් පවතින අතර අද ජනතාව නොමග යවා යළි ත් බලය ඩැහැ ගැනීමට වෙර දරන්නේ මේ සියලු නඩු යටපත් කිරීමට බව සමරවීර මහතා සිය නිවේදනයෙන් පෙන්වා දුනි. ඊට අමතරව රටේ ණය බර හා ආර්ථිකමය වශයෙන් මුහුණදීමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙම නිවේදනයේ සඳහන් ය. පැවති රජයට වඩා ආර්ථික වශයෙන් හා පරිපාලන වශයෙන් ශක්තිමත් කිරීමට රජයට හැකි වී ඇති බව මෙහි දක්වා තිබේ. 1990දී දළ දේශීය නිශ්පාදනය 30% ක්ව පැවතුණු බවත්, ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2014 වසර වන විට 12% ක් දක්වා මට්ටමකට පහත බැස ඇති රටක් අප රජය විසින් භාර ගත් බව ද මංගල සමරවීර අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත. අමෙරිකානු ඩොලර් බිලියන 4 . 2 ක් ණය වාරිකයක් ලෙස ලබන වසරේ ගෙවීමට තිබෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කර තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා පැවසූවේ, එතුමාගේ බුද්ධිය හා සිහිකල්පනා ශක්තිය හීන වී ඇති බවයි. 1948 පසුව විදේශ ණය සඳහා වැඩිම ගෙවීම් සිදු කිරීමට ඇත්තේ 2018 වසරේ දී වන අතර එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2845 ක් බව මෙහි දැක් වේ. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 1789 ක් 201ට පෙර ලබා ගත් ණය වාරිකයන් බව මෙහි සඳහන් ය. 2015 ට පසු ලබා ගත් ණය සඳහා ගෙවීමට ඇත්තේ, අමෙරිකානු ඩොලර් මිලියන 1056 ක් පමණක් බව ද සමරවීර මහතා පවසුවේ ය. 2019 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 4285 ක් ගෙවීමට ඇති අතර එයින් අමෙරිකානු ඩොලර් මිලියන 3315 ක් හෙවත් 77 % ක්ම රාජපක්ෂ සමයේ ලබා ගත් ණය සඳහා ගෙවීමට සිදුව ඇති බව මුදල් අමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන් වේ. 2019 දී ගෙවිය යුතු ණය වාරිකයට 2014 ජනවාරි මස 06 වන දා 6% ක පොලිය යටතේ 5 අවුරුද්දකින් ගෙවීම සඳහා ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ද 2014 අප්‍රේල් 07 වන දා 5.1 % ක පොලිය යටතේ 5 වසරකින් ගෙවීමට ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ද ඇතුලත් නිවේදනයේ දැක් වේ. තව ත් අමෙරිකානු ඩොලර් මිලියන 3768 ක් ණය වාරික සහ පොළිය වශයෙන් 2020දී ගෙවීමට සිදු වන අතර, එයින් 77% ක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 2905 ක් ගෙවිය යුතු වන්නේ 2015 වසරට ප්‍රථම ගත් ණය සඳහායි. 2021 වසරේදී විදේශ ණය ගෙවීම්වලින් 83% ක්ම 2015ට පෙර ලබා ගත් ණය සඳහා වන අතර 2030 දී පවා ගෙවිය යුතු ණය මුදලින් 72% ක් ම ඇත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ නාස්තිය වංචාව සහ දූෂණය වෙනුවෙන්, ගෙවිය යුතු ණය සඳහා බව මංගල සමරවීර මහතා මෙම නිවේදනයේ සඳහන් කර තිබේ. මෙම රජය බලයට පත් වූ පසු පසුගිය වසර 3 ක් ඇතුලත අමෙරිකානු ඩොලර් මිලියන 12 ක් විදේශවලින් ණය ලබා ගෙන ඇති අතර ඉන් බිලියන 6 ක් ම ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර ණය දෙන සංවිධාන සහ ද්විපාර්ශවීය පදනම මත සහනදායි පොලී මත ලබා ගත් ව්‍යාපෘති ණය වේ. මෙම රජය බලයට පත් වූ වහාම රුපියල් 10,000 කින් පඩි වැඩි කරන බවට පොරොන්දු වූයේ 2006 වසරේ සිට රාජ්‍ය සේවක පඩි ශතයකින් හෝ වැඩි නොකළ නිසා බව අමාත්‍යවරයා පැවසුවේ ය. 2014 ට සාපේක්ෂව කිරිපිටි, ගෑස් හා ඉන්ධන මිල තවමත් අඩු මිලක පවතින අතර රාජ්‍ය සේවක වැටුප 2014 ට සාපේක්ෂව 2020දී 107 % කින් වැඩි වීම ජීවන බර අඩු මට්ටකින් පවත්වාගෙන යාමට රුකුලක් වන බව ද සඳහන් වේ. රට පාලනය කළ රාපක්ෂ පවුලේ සහෝදරයන් යළි ත් බලය ඩැහැ ගැනීම සඳහා ජනතාව විපත් මගට ඇද දැමීමට දරණ උත්සහය පරාජය කරමින් , 2025 වන විට ශක්තිමත් ආර්ථිකයක්, පොහොසත් රටක් බිහි කිරීමේ වැඩපිළිවෙළ සමග එක් වන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.