හැරී - මේගන් රාජකීය ආදර වෘතාන්තයේ කූටප්‍රාප්තිය

හැරී - මේගන් රාජකීය ආදර වෘතාන්තයේ කූටප්‍රාප්තිය

by Staff writer 19-05-2018 | 7:51 PM
(News 1st) - ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සුබ පැතුම් මැද බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ රාජකීය විවාහ මංගලෝත්සවය අද පස්වරුවේ පැවැත්විණි. ඒ, වින්සර් මාළිගයේ ශාන්ත ජෝන් චැපල් දේවස්ථානයේදී ය. හැරී කුමරු සිය දෙවැනි මනාලයා වන විලියම් කුමරු සමග වින්සර් මාළිග පරිශ්‍රයට පැමිණි අතර සියල්ලන් දෑස් අයා බලා සිටි මනාලිය මේගන් මාර්කල්, ලන්ඩන් නුවරට රැස්ව සිටි දහස් ගණනකගේ ඔල්වරසන් මැද මාළිග පරිශ්‍රයට පැමිණියා ය. රාජකීය සම්ප්‍රදායට අනුව වින්සර් මාළිග දොරටුවේ සිට මනාලිය දේවස්ථානය කරා රැගෙන යා යුත්තේ මනාලියගේ පියා වුවත්, හෘදයාබාධයක් හේතුවෙන් පියා නොපැමිණීම නිසා මේගන් මාර්කල් දේවස්ථානය කරා රැගෙන ගියේ පිලිප් කුමරු විසිනි. විලියම් - කේට් යුවළගේ දරුවන් වන චාලට් කුමරිය සහ ජෝර්ජ් කුමරු මල් කුමර කුමරියෝ ලෙස මංගල්‍යයට එක්ව සිටියහ. මංගල්‍යයට රජ පවුලෙන් ඇරයුම් ලැබූ 600ක් වූ ආරාධිතයින් අතරට ඔප්රා වින්ෆ්‍රී, ජෝර්ජ් ක්ලූනී යුවළ, ඩේවිඩ් සහ වික්ටෝරියා බෙකම් යුවළ , ජොනී විල්කින්සන් , ඉඩ්රීස් එල්බා, ප්‍රියංකා චොප්රා, සෙරීනා විලියම්ස් ආදි ලෝක ප්‍රකට තරු ඇතුළත් ය. සිය මැණියන් වන අභාවප්‍රාප්ත ඩයනා කුමරියගේ පවුලේ සාමාජිකයින්ට හැරී කුමරු මංගල්‍යයට ඇරයුම් කර තිබූ අතර පවුලේ විශේෂ කතාවක් කිරීමට ඇගේ සොහොයුරියකට අවස්ථාව දී තිබුණේ, පවුල් දෙක අතර විසි වසරක් පැවති විරසකය බිඳ දමමිනි. මංගලෝත්සවයෙන් අනතුරුව රාජකීය සම්ප්‍රදායට අනුව යුවළ අස් රියක නැගී පිටත්ව ගියේ, ලන්ඩන් නුවරට රැස්වූ දහස් ගණනකට සමාචාර කරමිනි. පවුම් මිලියන 32ක මුදලක් මෙම මංගල්‍යය සඳහා වැය වන්නට ඇති බවට ගණන් බලා තිබේ. 2016දී ඇරඹි සිය ආදර අන්දරය මල් ඵල ගැන්වෙද්දී හැරී කුමරු, සිය සොහොයුරු විලියම් මෙන් මේගන් මාර්කල්ගෙන් දෑවැද්දක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, ප්‍රේමයට සැබෑ වටිනාකමක් ලබා දෙමිනි. සසෙක්ස්හි ආදිපාද හැරී කුමරුගේ ආදිපාදවරිය වූ මේගන් මාර්කල්ට රජ පවුලේ සම්ප්‍රදායට අනුව අද සිට බොහෝ දේ අකැපයි. සෙල්ෆි ඡායාරූප ගැනීම, සමරු සටහන් ලබා දීම, ඡන්දය භාවිත කිරීම, රැජින නින්දට යන තුරු නින්දට යාම මෙන් ම තනිව ගමන් යාම මින් පසු ඇයට කළ නොහැකි වේ. එහෙත් ලොව ප්‍රතාපවත්ම රාජධානියේ අනාගත 6 වැනි අනුප්‍රාප්තිකයාගේ ආර්යාව වීම ම ඉහත නීති සියල්ල සතුටින් පිළිගැනීමට ඇයට හේතු වනු ඇති.