නිදහස් චතුරශ්‍ර ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවදානමක

නිදහස් චතුරශ්‍ර ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවදානමක

by Chathuranga Rajapaksha 19-05-2018 | 12:16 PM

COLOMBO (News 1st) - කොළඹ, නිදහස් චතුරශ්‍රයේ පිහිටි නිදහස් මන්දිර ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවදානමක් මතුව තිබේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදියර දෙකක් යටතේ ඉදිකර ඇති ගොඩනැගිල්ලේ, පිටත පාදමට සම්බන්ධ කොටස එලෙස ගිලාබැසිමේ අවදානමට ලක්ව ඇති බව ය. එම කොටසේ ඉරිතැලීම් ගණනාවක් මතුව ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 1948 වර්ෂයේ මෙරටට ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබීම සිහිපත් කිරීම පිණිස 1949 වසරේ පෙබරවාරි 4 වැනි දින නිදහස් මන්දිර ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල පිරුණේ එවක අග්‍රාමාත්‍ය මහාමාන්‍ය, ඩී.එස්.සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 1953 වසරේදී අවසන් කෙරුණි. මෙරට සම්ප්‍රදායික වාස්තු විද්‍යාත්මක ශිල්පීය ක්‍රම විදහා දක්වමින් ඉදිකල නිදහස් මන්දිර ගොඩනැගිල්ල දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද අවදානයට පාත්‍ර වන්නකි. වර්ග අඩි දස දහසක වපසරියක ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලට යටින් භුගතව කාමර 108 කින් යුක්ත යටි මහලක් ද වේ. නිදහස් මන්දිර ගොඩනැගිල්ල ගිලාබැසීමේ අවදානම පිළිබදව නිව්ස්ෆස්ට් විෂයභාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළේය. ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන දැනටමත් මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂඥයින්ගෙන් වාර්තාවක් කැඳවා ඇති බව ය. එය ලබන සතියේ තමන් අතට පත්වන බව ද ඔහු සඳහන් කළේය. ඒ අනුව මෙම තත්ත්වයට කඩිනම් පිලියම් යෙදීම සඳහා පියවර ගන්නා බව ද අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.