දකුණේ වෛරස් උණ රෝගීන්ට ප්‍රතිකාර කරන්න වෙනම වාට්ටු

දකුණු පළාතෙන් වාර්තා වූ වෛරස් උණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙනම වාට්ටු

by Chathuranga Rajapaksha 19-05-2018 | 7:54 AM

COLOMBO (News 1st) - වෛරස් උණ රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා දකුණු පළාතේ ප්‍රධාන රෝහල්වල වෙනම වාට්ටු පිහිටුවීමට දකුණු පළාත් සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.වීරසුරිය මහතා සඳහන් කළේ, රෝගය පැතිර යාම වැළැක්වීම සහ ප්‍රතිකාර සේවා පහසුකරලීම සඳහා මෙම පියවර ගන්නා බව ය. මේ අතර පසුගිය මාස එකහමාරක කාලය තුළදී දකුණු පළාතෙන් වෛරස් උණ රෝගීන් 800 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.වීරසුරිය මහතා සඳහන් කළේ, රෝගය වැළඳුණු ළමුන් ඇතුළු 15 දෙනෙකු මියගොස් ඇති බව ය. වෛරස් උණ රෝගය වැළඳුණු දරුවන් පාසල් ගෙන්වා ගැනීමෙන් වළකින්නැයි දකුණු පළාත් අධ්‍යාපන බලධාරින්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇතැයි ද ඔහු පවසයි. වාතය මගින් බෝවන මෙම රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා ජනාශ්‍රිත ප්‍රදේශවල ගැවසීමෙන් වළකින ලෙස ඔහු දකුණු පළාතේ ජනතාවට දැනුම් දෙන්නේය. මෙම රෝගය වැළඳුණු පුද්ගලයින් හමුවීම සඳහා දරුවන් රැගෙන යාමෙන් වළකින ලෙස ද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.වීරසූරිය මහතා වැඩි දුරට ත් කියා සිටියේය.