කියුබාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් 100ක් මරුට

කියුබාවේ හවානා නුවරට ගුවන් යානයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් මරුට

by Chathuranga Rajapaksha 19-05-2018 | 6:50 AM
(News 1st) - කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමීපයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එරට මාධ්‍ය වාර්තාවන්හී දැක්වෙන්නේ හවානා නුවර පිහිටි ජොස් මාර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසුව එය කඩා වැටී ඇති බව ය. එලෙස අනතුරට ලක්ව ඇත්තේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත බෝයින් 737 වර්ගයේ යානයකි. අනතුරින් පුද්ගලයින් 3 න් දෙනෙකු දිවි ගලවාගෙන ඇතත් ඔවුන් බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් වාර්තා පවසයි. යානය අනතුරට ලක්වන විට කියුබානු ජාතික ගුවන් මගීන් 110 දෙනෙකු සහ මෙක්සිකානු ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඒ තුළ සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. කියුබානු ජනපති මිගුඑල් ඩයස් කැනෙල් අනතුර සිදු වූ සැනින් එම ප්‍රදේශයට පැමිණ එය නිරීක්ෂණය කර තිබේ. කඩා වැටී ඇත්තේ කියුබානු රාජ්‍ය ගුවන් සමාගම මගින් මෙක්සිකානු සමාගමකින් බදු පදනම මත ලබාගත් ගුවන් යානයකි. මෙක්සිකානු බලධාරීන් ප්‍රකාශ කළේ, 1979 දී ගුවන් යානය නිෂ්පාදනය කර ඇති අතර පසුගිය නොවැම්බර් මස කළ පරීක්ෂාවකදී කිසිඳු කාර්මික දෝෂයක් හඳුනා නොගත් බව ය.