ඔබට ලැබෙන ඇතැම් ඊමේල් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් ද?

ඔබට ලැබෙන ඇතැම් ඊමේල් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් ද?

by Staff writer 19-05-2018 | 5:14 PM
COLOMBO (News 1st) - ව්‍යාපාරික ඊමේල් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී අමෙරිකානු ඩොලර් මිලියන 13කට අධික මුදලක් පසුගිය මාස 5 ඇතුළත වංචා කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ බොහෝ පිරිසක් මෙම වංචාවට හසුවී ඇති බව ය. වංචාකරුවන් මෙලෙස ඊමේල් තුළට ඇතුළු වී විකුණුම්කරු, ගැණුම්කරු සහ ගෙවීම් සිදු කරන සමාගම අතර හුවමාරු වන ඊමේල් අධ්‍යයනය කරයි. පසුකාලීනව වංචනිකයින් විසින් ඊමේල් පණිවුඩ හරහා සේවාදායකයින්ට නව ගිණුම් හඳුන්වා දී ඒ සඳහා මුදල් බැර කරන ලෙස දන්වයි. බැංකු ගිණුම් අංක වෙනස් කර ඇති බව දන්වමින් වංචනිකයින් විසින් හඳුන්වා දෙනු ලැබූ ගිණුම්වලට ඔවුන් මෙලෙස පුද්ගලයින්ගෙන් මුදල් ගෙන්වා ගනී. රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙන්නේ, ඊමේල් හරහා රහසිගත තොරතුරු හුවමාරු කිරීමේදී ප්‍රවේසම් වන ලෙස යි. සැකකටයුතු ඊමේල් පණිවුඩයක් ලැබුණහොත් ඒ පිළිබඳව බැංකුවෙන් හෝ විකුණුම්කරුගෙන් විමසන ලෙස චන්ද්‍රගුප්ත මහතා පවසයි.