ඊලාම් සිහිනවලට ඉඩ නැහැ - ජනපති

ඊලාම් සිහිනවලට ඉඩ නැහැ - ජනපති රණවිරු සැමරුමේදී අවධාරණය කරයි

by Staff writer 19-05-2018 | 10:09 PM
COLOMBO (News 1st) - ජාතික රණවිරු අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්විණි. ඒ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති ජාතික රණවිරු ස්මාරකය අභියසදී ය. සැමරුම් උත්සවය ආරම්භ වුණේ, ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සමග යි. දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීමෙන් පසු සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සැමරුම් උත්සවය ආරම්භ විණි. අනතුරුව රණවිරු ස්මාරකයට ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් මෙන් ම රණවිරු පවුල්හි සාමාජිකයෝ පුෂ්පෝපහාර දැක්වූහ. මේ අතර යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බල සේනාවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඉටුකරන ලද විශිෂ්ට සේවයට උපහාර පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ත්‍රිවිධ හමුදාවන්වල සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 50 දෙනෙක් මෙහිදී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලබා ගත්හ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරු ද ඒ අතර වෙති. මේ අතර රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක් ද අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද සහභාගීත්වයෙනි. සියලු මහවැලි කලාප ආවරණය වන පරිදි සංඝයා වහන්සේ 200 නමක් පමණ මිට වැඩම කර සිටියහ. https://www.youtube.com/watch?v=keDvW9Le0uQ