ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනස් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනස් වෙයි

by Staff writer 18-05-2018 | 10:34 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු සඳහා ලබන 3 වන දා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට ඊයේ රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ ය. මේ අතර නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසුවේ, පක්ෂයේ ඉදිරි සංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ බව ය. ලබන 3 වන දා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව කැඳවා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට නියමිත ය. ලබන 9, 10 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවිධායකවරු කැඳවීමට නියමිත අතර ඉන් අනතුරුව අගෝස්තු 20 වන දා දක්වා ග්‍රාම සේවා වසම් 14400ක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිති පිහිටුවීමට සැලසුම් කර තිබේ. අගෝස්තු 20 වන දා සිට 30 වන දා දක්වා පක්ෂයේ ආසන බල මණ්ඩල පිහිටුවීමට සැලසුම් කර ඇති අතර සැප්තැම්බර් 2 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශාන් විජයලාල් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.