තිස් වසරක යුද්ධය අවසන් වී අදට වසර 9 යි

තිස් වසරක යුද්ධය අවසන් වී අදට වසර 9 යි

by Chathuranga Rajapaksha 18-05-2018 | 8:32 PM

COLOMBO (News 1st) -  තිස්වසරක යුද්ධය නිමාවී අදට අවුරුදු 09 ක් ගතවේ. එය සිහිපත් කරමින් අද සැමරුම් ගණනාවක් පැවැත්විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ, සියලු හමුදා විරුවන්ට තමාගේ උත්තමාචාරය හිමි වන බව ය. හමුදා විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් අප වෙනුවෙන් කළ කැප කිරීම් ගෞරවයෙන් සිහිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සිය අදහස් පල කළේය.
අද වැදගත් දිනයක්.ත්‍රස්තවාදය පරාජය කරලා යුද්ධය අවසන් කරලා සාමය ආව අවස්ථාව. ඒ සදහා ඒ වැඩ කටයුත්තට කැප වුන සියලුදෙනාම ත්‍රවිධ සේවා හමුදාව ඇතුළු සියළු දෙනාම මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ යුද්ධයෙන් ත්‍රස්තවාදය ආරම්භ කරපු දවසේ ඉදලා අහිංසක ජනතාවගේ ජීවිත නැති වුනා. ඒ අයත් සිහිපත් කරමින්
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා
අද වගේ දවසක අපි ඉතා ගෞරවයෙන් මතක් කර සිටිනවා මේ රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් භෞමික අඛණ්ඩතාවය ස්වයීරීත්වය සාක්ෂාත් කිරීම උදෙසා රට දැය වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර සෙම්පතියන් රණවිරුවන්, යුද බිමේ සිටගෙන ඇස් හිස් මස් ලේ දහදිය කඳුළු ජීවිත පරාර්ථකාමීව රට දැය වෙනුවෙන් කැප කරලා කුරිරු කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කරලා මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ කරපු අමරණීය නිර්මල සේවාව අද දවසේ යුතුකමක් හැටියට අපගේ ගෞරවය ඒ රණවිරුවන්ට පුද කර සිටිනවා
අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී විරුවන් සිහිපත් කරමින් අද විශේෂ උත්සවයක් පැවැත්විය. ඒ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. යුද හමුදාපතිවරයා ද එහිදී පණිවිඩයක් නිකුත් කර තිබුණි. එහිදී යුද හමුදාපතිවරයාගේ පණිවිඩය ගජබා රෙජිමේන්තු සේනා විධායක කර්නල් හරේන්ද්‍ර පීරිස් මහතා විසින් ඉදිරිපත් කරනු ලැබිණි.
2009 මැයි මස අද වැනි දිනක අපි ලබාගත්තේ යළි යළිත් සතුටින් සිහිපත් කර හැකි සුන්දර මතකයන්ගෙන් පිරි ජයග්‍රහනයක් නොවේ.අපි එදා ලබාගත්තේ මෙරට සියලු ජන කොටස් වල කිසිදු බේදයකින් තොරව කැප කලාවු අප්‍රමාණ ජීවිත දේපල හා දහදිය මහන්සියෙන් වූ අමිහිරි මතකයන් වලට සමු දුන් ජයග්‍රහනයකි.එබැවින් අපි එදා ලද ජයග්‍රහනය සැබෑ විජයග්‍රහනයක් වනුයේ යලිත් කිසිදා කිසි කලෙක එවන් රුදුරු ත්‍රස්තවාදයක් මෙරටතුල ඇති නොවීමට වග බලාගත්තොත් පමණි.
ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා
නිලධාරීන් 171 දෙනෙක් සහ කෙටේරි සෙබළුන් 4079ක් තම ජීවිත පරිත්‍යාග කරමින් සටන් වැද තම හමුදාවේ රොජිමේන්තු අතරින් වැඩිම ජීවිත ගණනක පූරා කළ රෙජිමේන්තුවක් වශයෙන් ගජබා රෙජිමේන්තුව පත් වීමද මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන කරුණකි. තවත් කාරණයක් මතක් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ මන්ද අද අපි සමරණුයේ යුද්ධයේ ජයග්‍රහණයක් නොව සාමයේ සැබෑ විජයග්‍රහණයයි.
ගැටුම්වලින් මිය ගිය සිය සහෝදර ජනතාව සමරා අද මුලිතිව්, වෙල්ලමුල්ලිවයික්කාල්හීදී සිහිපත් කිරීමේ උත්සවයක් පැවැත්විය. යාපනය විශ්විද්‍යාලයේ සිසුන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම උත්සවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු දේශපාලඥයින් පිරිසක්ද එක්ව සිටියහ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා
ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ මෙරට දෙමුහුන් විමර්ශන පද්ධියක් ස්ථාපනය කිරිමට පෙරොන්දු වුණා. නමුත් දැන් එම පොරොන්දුව ඉටු කිරීමට විරෝධය පල කරනවා. මෙයින් පෙනී යන්නේ දශක 07 ක් තිස්සේ පැවති රජයන් අපේ දෙමළ ජනතාව මුලා කළ ආකාරයයි. මේ නිසා තමයි අපි දිගින් දිගටම ඉල්ලා සිටිනනේ ශ්‍රී ලංකා රජයට ඔවුන් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරන්නට තවත් කල්දීම අනවශ්‍යයි කියලා. මොකද ඔවුන් එය සිදු කරන්නේ නෑ තවත් කල් දීමෙන් කිසිදු වෙනසක් සිදුවන්නෙත් නෑ මේ අවස්ථාවේදී මා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වරයා නැගූ පැණයක් නැවතත් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ තමයි ජාත්‍යන්තර නීතිය හරහා වගවීම අත්කර ගැනීමට වෙනත් මාර්ග තිබේද යන්නයි.
මෙම සැමරුම් උත්සවයට එක්වූ පිරිසට ශ්‍රී ලංකා යුධ හමුදාවේ 58 වන බල සේනාංකයේ සමාජිකයින් සිසිල් පැන් දන්සැලකින් සංග්‍රහ කිරීම සුවිශේෂි සද්ධියකි. විශ්‍රාමික රණවිරු සංසඳය අද රණවිරු සැමරුම් උත්සවයක් යටියන්තෝටදී සංවිධානය කර තිබුණි. පානදුර මාලමුල්ල රණවිරු ස්මාරකය අභියස උපහාර පිදිමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ මහතා ද සහභාගි විය. එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ සඳහන් කළේය.
අද ඒ විජයග්‍රහණය සමරන් නැහැ. ජිනිවා මානව හිමිකම් කොමිසමේන් , ඇමරිකා එක්සත් ජනතා යෝජනාවෙන් කියනවා උබලා විජයග්‍රහණය සමරන්න බැහැ. අපට කියනවා විජයග්‍රහනය සමරන්න එපා
ජාතික හෙළ උරුමය පක්ෂයේ නියෝජිතයින් අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ පැවති සත්කාරක වැඩසහනට සහභාගි විය. මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණ ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකයේදී පැවැත්වීමට නියමිත ය.