by Staff writer 18-05-2018 | 2:21 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමත්හු අද සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරති.
ඉස්ලාම් බැතිමත්හු මාසයක් පුරා මෙලෙස උපවාසයේ නිරත වෙති.
රාමසාන් ඇරඹෙන දවස තීරණය කරන්නේ කෙලෙස ද?
රාමසාන් කාලය තීරණය වන්නේ, ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව ය. එම නිසා අවුරුද්දෙන් අවුරුද්ද රාමසාන් පවත්වන දින වෙනස් වේ. ඉස්ලාමීය දින දර්ශනයේ හැටියට නව සඳ උදා වීමත් සමග රාමසාන් උපවාස කාලය පටන් ගැනීම සිදුවේ. මෙලෙස ආරම්භ වන රාමසාන් කාලය අවසන් වෙන්නේ ඊළඟ නව සඳ දැකීමෙන් අනතුරුව ය. සාමාන්‍යයෙන් දවස් 29ක් 30ක් විතර රාමසාන් කාලය පවතී.
උපවාසය කිරීමේ අරමුණ...
රාමසාන් කාලයේදී හිරු උදාවෙන් අනතුරුව හිරු බැස යනකම් ගත වෙන කාලය ඇතුළතදී ඉස්ලාම් බැතිමතුන් කිසිම ආහාර පානයක් නොගනී. මෙලෙස ඔවුන් ආහාර පාන නොගන්නේ, නිතර කුස ගින්නෙන් පෙළෙන දුගී දුප්පත් මිනිසුන්ගේ දුක ගැන අවබෝධයකට පැමිණ එම මිනිසුන්ට වඩ වඩාත් පිහිට වන්නට අවශ්‍ය බව වටහා ගැනීමට ය. එමෙන් ම මෙම කාලය තුළදී දුගී දුප්පත් මිනිසුන්ට පරිත්‍යාග කිරීමත් ඉස්ලාමීය බැතිමතුන් විසින් සිදු කරනු ලබයි.
සුහුර් සහ ඉෆ්තාර්...
අලුයම් කාලයේදී උපවාසය ආරම්භ කිරීමට පෙර ඉස්ලාම් බැතිමතුන් ගන්නා ආහාරය හඳුන්වන්නේ සුහුර් ලෙස යි. මේ ආහාරයත් සමග ම ශරීරය විජලනය වීම වළක්වා ගැනීමට ඉතා හොඳින් ජලය පානය කරයි. හිරු බැස යාමෙන් පසු උපවාසය අවසන් කරන ආහාර වේල හඳුන්වන්නේ ඉෆ්තාර් ලෙස යි. සමහරු උපවාසය බිඳීමට රටඉඳි ගෙඩි 3ක් ආහාරයට ගනිති. මුහම්මද්තුමා උපවාසය බිඳීමට රටඉඳි ගැනීම නිසා එතුමාව අනුගමනය කිරීමට සමහරු එලෙස රටඉඳි ගනිති.
මෙලෙස සිදු කරගෙන යන උපවාස මාසය අවසන් වීමෙන් අනතුරුව ඊද් උත්සවය පැවැත්වේ. මෙම උත්සවයේදී ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අලුත් ඇඳුමින් සැරසී යාඥාවලට සහභාගී වී සතුටින් කාලය ගත කරති.