ඇලෝසියස්ගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 25ට

ඇලෝසියස්ගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 25ට කල් යයි

by Staff writer 18-05-2018 | 12:29 PM
COLOMBO (News 1st) - තමාට ඇප ලබා දෙන්නැයි ඉල්ලා පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කර ඇති අභියාචනා පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 25 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය. ඒ, එම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය. එම අභියාචනය පළමුව සලකා බැලූ විනිසුරු මඩුල්ල හමුවේ ම සලකා බලන ලෙසට පෙත්සම්කරුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි 04 වන දා අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් මහතාට ඇප ලබා දෙන ලෙසට ඔහුගේ නීතිඥවරුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හා කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. මේ හේතුවෙන් අධිකරණ විසින් නිකුත් කළ ඇප ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය අවලංගු කර තමාට ඇප ලබා දෙන ලෙස පෙත්සම්කාර අර්ජුන් ඇලෝසියස් මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.