ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ

ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ

by Staff writer 18-05-2018 | 7:11 AM
COLOMBO (News 1st) - සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආගමන විගමන නිලධාරීහු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති. එම සංගමයේ සභාපති අරුණ කණුගල මහතා සඳහන් කළේ, ඊයේ පැවති නිහඬ විරෝධතාවට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියමාර්ගයකට අවතීර්ණ වූ බව ය. තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන්ට යම් අපහසුතාවක් සිදු වන්නේ නම් ඒ සඳහා පාලනාධිකාරිය වගකිව යුතු බව අරුණ කණුගල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රීලංකන් ගුවන් සමාගම මගීන්ට දැනුම් දෙන්නේ පිටත් වීමට ඇති වේලාවට පැය 3 කට පෙර ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස ය. ආගමන විගමන නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා නැවත දැනුම් දෙන තුරු මෙම පියවර අනුගමනය කරන ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටියි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8.00ට අවසන් වේ. ඊයේ පෙරවරු 8.00 සිට ඔවුන් සංකේත වැඩ වර්ජනයක නිරත වුණේ, සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමට සහ එට්කා ගිවිසුමට විරෝධය පළ කරමිනි. මේ අතර දිගු කාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරුවන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 9 වන දිනටත් ක්‍රියාත්මක ය.