අමෙරිකාව, උතුරු කොරියාවට අනතුරු අඟවයි

අමෙරිකාව, උතුරු කොරියාවට අනතුරු අඟවයි

by Staff writer 18-05-2018 | 8:29 AM
(News 1st) - න්‍යෂ්ටික අවිහරණයේදී උතුරු කොරියාවට ලිබියානු ආකෘතිය අනුගමනය කිරීමට ඉඩ නොදෙන බවට අමෙරිකාව අනතුරු අඟවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, උතුරු කොරියාවට අන්තවාදී ලිබියාවක් වීමට තමන් ඉඩ නොතබන බව ය. ජනපතිවරයා එසේ කියා සිටියේ, න්‍යෂ්ටික අවි අත්හරින ලෙස තමන්ට දැඩි බලපෑම් එල්ල කළහොත් දෙරට අතර පැවැත්වීමට නියමිත හමුවට සහභාගී නොවන බවට උතුරු කොරියාව කළ තර්ජනයට ප්‍රතිචාර දක්වමිනි. ලිබියානු නායක මුවමර් ගඩාෆී සිය න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින බවට 2003 වසරේදී එකඟ වුවත් පසුව එය කඩ කළ බව ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ ය. ඔහු කියා සිටියේ, ලිබියානු ජනපතිවරයා ගිවිසුම්ගතව වසර කිහිපයකට පසු බටහිර පිටුබලය ලබන සටන්කාමීන් ඝාතනය කළ බව ය. න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් අමෙරිකාව සහ උතුරු කොරියාව අතර ලබන 12 වන දින සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ යෝජනා අනුව දෙරට අතර ගැටුම් උද්ගතව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය. කෙසේ වෙතත් අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ, දෙරට අතර පැවැත්වීමට නියමිත සමුළුව සම්බන්ධයෙන් තමන් තවදුරටත් බලාපොරොත්තුවෙන් පසුවන අතර එය සිදුවිය යුත්තක් බව ය.