නොරොච්චෝලේ වාර්තාව අද මධ්‍යම පරිසර අධිකාරියට

නොරොච්චෝලේ ගැටලුව පිළිබඳ වාර්තාව අද මධ්‍යම පරිසර අධිකාරියට

by Hashini De Mel 17-05-2018 | 9:27 AM

COLOMBO (News 1st) - නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් දුම් සමග පිටවන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිත බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ, ගල් අඟුරු බලාගාර භූමියේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ නිරීක්ෂණය කළ විශේෂ කණ්ඩායමක් වාර්තාව සකස් කර ඇති බවයි. නොරොච්චෝලේ බලාගාරයෙන් අලු සහිත දුමාරයක් නිකුත්වීමත් සමග මතුවී ඇති පාරිසරික අර්බුදය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මෙන්ම පරිසර සංවිධාන පසුගිය කාලයේ අවස්ථා රැසකදී කරුණු ඉදිරිපත් කළේ ය. ඒ පිළිබඳ සොයා බැලීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කෙරුණේ ඉන් අනතුරුවයි. ඔවුන් සකස් කළ වාර්තාවට, සියලු අංශ ආවරණය වන ආකාරයෙන් ලබාගත් තොරතුරු ඇතුළත් වේ. වාර්තාවේ නිර්දේශ පදනම් කරගනිමින් නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන්ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කර බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ ය.