කාලගුණය අයහපත් : ජනතාවට සැලකිලිමත් වන්නැයි, උපදෙස්

කාලගුණය අයහපත් : ජනතාවට සැලකිලිමත් වන්නැයි, උපදෙස්

by Sagarika Chathumali 17-05-2018 | 3:26 PM
COLOMBO (News1st)  : බස්නාහිර, දකුණ සහ නැගෙනහිර මුහුදේ සුළං වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව කොළඹ සිට ගාල්ල සහ පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි. ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි. ශ්‍රී ලංකාව ආසන්නේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඊට හේතු වී තිබෙන අතරදිවයිනට බස්නාහිර, දකුණ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය වර්ධනය වී ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ යමින් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ජා ඇල, මිනුවන්ගොඩ, ගම්පහ සහ වත්තල ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බවයි. මේ අතර දැදුරු ඔයේ වාන් දොරටු 6 ක්, උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් සහ කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. මේ හේතුවෙන් පහත් බිම්වල ජනතාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. https://www.youtube.com/watch?v=FheWe-JJbP4