කර්නාටක ප්‍රාන්තයේ මුල් පුටුවේ ගැටලුව විසඳෙයි

කර්නාටක ප්‍රාන්තයේ මුල් පුටුවේ ගැටලුව විසඳෙයි

by Sagarika Chathumali 17-05-2018 | 5:48 PM
දැඩි ආන්දෝලනයකට තුඩු දුන් කර්නාටක ප්‍රාන්ත මහ ඇමති ධුරය පිළිබඳ ගැටලුව අද විසඳුම් ලැබිණ. ඒ භාරතීය ජනතා පක්ෂයේ බී.එස්. යෙදුරප්පා නව මහ ඇමතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුවයි. ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත මැතිවරණය මැයි 12 වන දා පැවැත්විණ. ජයනගර් හා රාජරාජේෂ්වරී නගර් බලප්‍රදේශ හැරුණු කොට අනික් සියලුම බලප්‍රදේශ සඳහා පැවැත්වු මැතිවරණයෙන් , ව්‍යවස්ථාදායක සභාවේ ආසන 222 ක් සඳහා මන්ත්‍රීවරුන් තොරාගැනීම සඳහායි. ප්‍රාන්ත සභාවේ බලය පිහිටුවිමට නම් එක් පක්ෂයක් ආසන 113 ක් ලබා ගත යුතුයි. එහෙත්, 15 වන දා නිකුත් වූ අවසන් ප්‍ර‍තිඵලයට අනූව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ බලය කිසිදු පක්ෂයකට හිමි ව නොමැත. ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය, ආසන 104 ක් දිනා ගත්ත ද එය බහුතරය සපුරාලීමට අසමත් වීම හමුවේ හටගත්තේ නොසන්සුන්තාවකි. දෙවැනි ස්ථානය හිමි කර ගත් රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දිය කොංග්‍ර‍ස් පක්ෂය ආසන 78 ක් දිනා ගත්තේ ය. ජනතා දාල් පක්ෂය හිමි කරගත්තේ ආසන 37 ක් පමණි. ප්‍ර‍තිඵල නිකුත් වී මඳ වේලාවකින්, 2013 වසරේ සිට කර්ණාටක ප්‍රාන්ත මහ ඇමති පුටුව හා කර්නාටක බලය හිමි කරගෙන සිටි ඉන්දීය කොංග්‍ර‍් පක්ෂය , ජනතා දාල් පක්ෂය සමග සන්ධාන ගත වී සභාව පිහිටුවන බව ප්‍ර‍කාශ කළේ ය. කොංග්‍ර‍ස් පක්ෂය හා ජනතා දාල් පක්ෂය පිහිටුවන සන්ධානයට බහුජන සමාජ් පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙකුගේ හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයෙකුගේ සහාය පළ වීමත් සමග ආසන එකතුව 117 දක්වා ඉහළ ගියේ ය. බහුතරය සඳහා වන අවශ්‍යතාව සපුරන සන්ධානය බලය පිහිටූවීම , ජනතා කැමැත්තට පිටුපෑමක් බවට භාරතීය ජනතා පක්ෂය විරෝධය පළ කළ ද කොංග්‍ර‍ස් නායකයින් පැවසුවේ, බහුතර කැමැත්ත නොමැති තනි පක්ෂයකට වඩා බහුතරය හිමි සන්ධානයකට ජනතාව කැමැති වනු ඇති බවයි. සිය මන්ත්‍රිවරුන් මුදලට ගැනීමට භාරතීය ජනතා පක්ෂ නායකයින් අර අදින බවට ද කොංග්‍ර‍සයෙන් චෝදනා එල්ල විය. ව්‍යවස්ථාදායක සභාවේ බලය පිහිටුවීමේ ගැටලුව ශ්‍රේෂ්ඨාධිකාවරණය දක්වා ගිය අතර අද අලුයම විශේෂ අවසරයක් මත විවෘත කළ ශ්‍රේෂඨාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගයට ගැණුනු බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සඳහන් ය. කොංග්‍ර‍ස් පක්ෂය විසින් සිය ජංගම දුරකථන සංවාදවලට රහසේ සවන් දෙන බවට සාක්ෂි ඇති බව පවසමින් බී.ජේ.පී.ය ගොනු කළ පෙත්සම් පැය 3 මහාරක් පුරා විභාගයට ගත් පසු, භාරතීය පක්ෂයට බලය පිහිටුවීමට අවසර ලබා දීමට කර්නාටක ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අවසර ලබා දී තිබිණ. ඒ අනූව නව කර්නාටක ප්‍රාන්ත මහඇමති ධුරය බී.එස්. යෙදුරප්පාට හිමිවේ. එහෙත් ,ආණ්ඩුකාරවරයාගේ නියෝගයට අනුව ඔහු දින 15 ක් තුළ බහුතරය ඔප්පු කර පෙන්විය යුතුයි. මේ වන විටත් එක් ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයෙකු යෙදුරප්පාට සහය පළ කර ඇති අතර තවත් ආසන 7 ක් පිරවීමට ඔහුට සිදුවේ. කෙසේ වෙතත්, යෙදුරප්පාට මුල් පුටුව ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන කොංග්‍ර‍ස් පක්ෂයේ හා ජනතා දාල් පක්ෂයේ මුහුණු කිහිපයක් තව දින කිහිපයකින් යෙදුරප්පාගේම කඳවුරේ දකින්නට ලැබේවි යැයි විචාරකයෝ මත පළ කරති.