කර්ණාටක මහ ඇමති පුටුව පිළිබඳ තීන්දුව

කර්ණාටක මහ ඇමති පුටුව පිළිබඳ තීරණයක් ගැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අලුයම 1.00 විවෘත කරයි

by Hashini De Mel 17-05-2018 | 8:46 AM

COLOMBO (News 1st) - ඉන්දීය කර්ණාටක රජය පිහිටුවන ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර වජුභායි වාලා, භාරතීය ජනතා පක්ෂයට ආරාධනා කිරීමත් සමග ප්‍රාන්ත දේශපාලන පක්ෂ අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගත විය.

ඒ, ප්‍රාන්ත මැතිවරණයෙන් තනි පක්ෂයක් ලෙස වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුවත්, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 113 ක බහුතරය, භාරතීය ජනතා පක්ෂය සතු නොවීම හේතුවෙනි. ජනතා දාල් පක්ෂය සමග සන්ධානගත වූ කොංග්‍රස් පක්ෂය පැවසූවේ, ආසන 116 ක බහුතරයක් සහිත තමන්ට ප්‍රාන්ත රජය පිහිටුවීමට අවස්ථාව ලබා නොදීමෙන් ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බවයි. භාරතීය ජනතා පක්ෂයෙන් ප්‍රධාන අමාත්‍ය ධූරයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන බී.ඒස් යෙද්යුරප්පාට අද පෙරවරු‍ 9.00 ට කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට පැමිණෙන්නැයි ආණ්ඩුකාරවරයා ඊයේ දැනුම්දීමක් කර තිබුණි. ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කියා සිටියේ, ප්‍රාන්ත රජයේ බහුතර බලය තමන් සතු බව පෙන්වීමට භාරතීය ජනතා පක්ෂයට දින 15 ක කාලයක් ලබාදෙන බවය. කෙසේ වතත් මෙය නීති විරෝධි ක්‍රියාවක් බව පැවසූ කොංග්‍රස් පක්ෂය මීට එරෙහිව ඊයේ මධ්‍යම රාත්‍රියේ ගොනු කළ පෙත්සමක් හේතුවෙන් අද අලුයම 1.00 ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණය විවෘත කිරීමට ඉන්දීය අගවිනිසුරු දීපක් මිශ්‍රා එකඟ විය. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඔස්සේ එම පෙත්සම විභාගයට ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, ආණ්ඩුකාරවරයාගේ තීරණයට ඒරෙහිව යාමට නොහැකි බැවින්, භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක බී.එස්. යෙද්යුරප්පාගේ දිව්රුම්දීම වැලැක්වීමට තමන්ට ‍නොහැකි බවයි. කෙසේ වෙතත් තමන් කොංග්‍රස් පක්ෂයේ ඉල්ලීම ඉවත නොදමන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේ ය. භාරතීය ජනතා පක්ෂය පැවසූවේ, වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් බැවින් බහුතර නොමැති වුවත් ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට තමන්ට අවසර දියු යුතු බවයි. කෙසේ වෙතත් ඉකුත් වසරේදී ෙගා්අා සහ මනිපූර් ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකරගත් තද බහුතරය නොමැති වීමෙන්, වෙනත් පක්ෂ සමග සන්ධානගත වූ භාරතීය ජනතා පක්ෂය ඒම ප්‍රාන්තවල ආණ්ඩු පිහිටුවීම හමුවේ, තමන්ට ද මෙවර ඒම අවස්ථාව හිමිවිය යුතු බව ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කළේ ය.