by Sagarika Chathumali 17-05-2018 | 4:08 PM
COLOMBO (News 1st) : ඇවන්ට්ගාඩ් නෞකාවේ නීති විරෝධී ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අවි ගබඩාවේ භාරකරු සහ මෙහෙයුම් කළමනාකරු ලබන 31 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ නැව අත්අඩංගුවට ගෙන වසර තුනක කාලයක් ගතව ඇතත් ගිනිඅවි සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපිය ද, ගිනි අවි බලපත්‍රය ද, අනෙකුත් ලිපි ලේඛන ද තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් විමර්ශන අවසන් කර නොමැති බවයි.
ගාලු වරායෙන් ගිනි අවි පිට කරන විට ඒ සම්බන්ධයෙන් රේගුව ද , නාවික හමුදාව ද දැනුවත් කරන බව නීතිඥවරයා කියා සිටියේ ය.
ඔහු පැවසුවේ, එසේ තිබියදී සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම මොවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බවයි.
විමර්ශනවලදී සොයා ගන්නා ලද සියලු කරුණු නීතිපතිවරයාට යොමු කරනු ලබන අතර නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයේදී කියා සිටියේ ය.