මහ පොළොවෙන් රජ පවුලට එන කවු ද මේ මේගන්...?

මහ පොළොවෙන් රජ පවුලට එන කවු ද මේ මේගන්...?

by Sagarika Chathumali 16-05-2018 | 6:15 PM
මේගන්  මර්කල් යනු මේ දිනවල මුළු ලෝකයේ ම අවධානයට ලක්ව සිටින බොහෝ දෙනෙකුගේ කතාබහ කරන කාන්තා චරිතයයි. ළඟදී ම බිතාන්‍ය රජ පවුලේ අලුත් ම සාමාජිකාව වීමට සැරසෙන මේගන් නිසා මේ දිනවල රජ පවුල පිළිබඳව ද බෙහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. ඩයනා - චාර්ල්ස් යුවළගේ කනිටු පුතණුවන් වන හැරී කුමරු මේගන් කුමරිය රජ ගෙට ගෙනෙන ආවාහ උත්සවය ලබන 19 වන දා වින්ඩ්සර් මාළිගයේදී පැවැත්වීමට මේ වනවිට ලිහි ලහියේ කටයුතු සූදානම් වෙමින් පවතී.

 කවු ද මේ මේගන්....?

නුදුරේදී ම රජ කුමරියක වීමට සැරසෙන මේගන් 1981 වසරේ අගෝස්තු 4 වන දා ලොස් ඇන්ජලීස් නුවරදී සුදු ජාතික පියෙකුට දාව කළු ජාතික මවකගේ කුසින් මෙලොව එළිය දුටුවා ය. සමාජ සේවිකාවක මෙන් ම යෝගා උපදේශිකාවක වන ඩොරියා ලොයිස් රග්ලන්ඩ් ඇයගේ මව වන අතර චිත්‍රපට අලෝකකරණ අධ්‍යක්ෂවරයෙකු වන තෝමස් මර්කල් ඇයගේ පියාණන් ය. තෝමස් මර්කල් -  ඩොරියා ලොයිස් යුවළ සිය විවාහ දිවියට තිත තබන්නේ,  මේගන්‍ට අවුරුදු 6  සම්පූරණ වනවාත් සමගයි. මූලික අධ්‍යාපනයෙන් පසු නෝර්ත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලයට ඇතුළු වන මේගන් 2003 වසරේදී සිනමාව පිළිබඳව මෙන් ම ජාත්‍යන්තර අධ්‍යනය පිළිබඳව ද උපාධිධාරිිනියක ලෙස සරසවි අධ්‍යාපනය අවසන් කළා ය. පසුව රංගනයට පිවිසි ඇය අමෙරිකානු ටෙලි නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් දායකත්වය සැපයූ අතර ඇය 'Remember Me' , 'Horrible Bosses' ඇතුළු හොලිවුඩ් චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායකත්වය සපයා ඇත. මේගන් 2004 වසරේදී හොලිවුඩ් නළු ට්රෙවර් එංගල්සන් සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නගා ගත් අතර 2011 සැප්තැම්බර් 10 වන දා ඔහු සමග විවාහ දිවියට එළැඹුණා ය. කෙසේ වෙතත් ඔවුන්ගේ විවාහ දිවිය අවුරුදු කිහිපයකට පමණක් සීමා වූ අතර 2013 අගෝස්තු මසයේදී ඔවුන් දෙදෙනාගේ විවාහය දික්කසාදයකින් කෙළවර විය. රජකමට උරුම කම් කියන 6 වැන්නා වන හැරි තමාට වඩා වසර කිහිපයක් වයසින් වැඩිමල් මේගන් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නේ 2016 වසරේදීයි. ඒ ඔවුන් දෙදෙනාගේ මිතුරෙකු මාර්ගයෙන් සිදුවූ හමුවකදී ය. 2016 වසරේ සිට මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාව පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වූ අතර 2017 සැප්තැම්බර් මාසයේදී තමා හැරි කුමරු සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා ය. සිය සමාජ ජාල වෙබ් අඩවිවල සිටි සියලු පිරිසට ස්තුතිය පළ කරමින් 2018 ජනවාරි මාසයේ ඇය සිය සාමජ ජාල ගිණුම් සියල්ලම අත්හිටවූවා ය.

රාජකීය මංගල්‍යයට සියල්ල සූදානම්

.... 2017 වසරේ නොවැම්බර් 27 වන දා හැරි - මේගන් විවාහ ගිවිස ගැනීම සිදු වූ අතර විවාහ ගිවිස ගැනීමෙන් පසු ඇය ප්‍රකාශ කළේ, තමා සිනමාවෙන් සමු ගන්නා බව ය. විවාහ ගිවිස ගැනීමෙන් පසු මේගන් කිහිප වරක් එළිසබත් මහ රැජිණ හමු වූ අතර මාර්තු 12 වන දා පසුගිය දා මහ රැජිණ හැරි - මේගන් විවාහයට අවසර ලබා දුන්නා ය. යම් හෙයකින් මහ විවාහ උත්සවයට මහ රැජිණගේ නිල අවසරය හිමි නොවුණ හොත් ඔවුන්ගේ දරුවන් රජකමට සුදුසුකම් නොකියනු ඇති. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හෙට දිනයේ සිදු කරන හෘද සැත්කමක් හේතුවෙන් මේගන්ගේ පියා සිය දියණියගේ විවාහ උත්සවයට සහභාගී නොවන බවයි. ලබන 19 වන දා පැවැත්වෙන හැරි - මේගන් විවාහ උත්සවයෙන් පසු මේගන් මර්කල් සසෙක්ස්හි ආදිපාදවරිය ලෙස හැඳින්වෙනු ඇති. මිශ්‍ර ජාතික කාන්තාවක ලෙසින් අමෙරිකාවේ සාමන්‍ය පවුලක උපත ලබා තව නොබෝ දිනකින් රජ කුමරියක වීමට ඇඟිලි ගණින මෙම රාජකීය මංගල්‍යය මර්කල්ගේ ජීවිතයේ දෛවෝපගත සිදුවීමකි.