ඔබේ දරුවාගේ සෞඛ්‍ය ගැන ත් අවධානෙන් පසුවන්න!

දකුණේ දරුවන් 5ට ජීවිත අහිමි වෙයි : ඔබේ දරුවාගේ සෞඛ්‍ය ගැන ත් අවධානෙන් පසුවන්න

by Hashini De Mel 16-05-2018 | 4:07 PM

COLOMBO (News 1st) - දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරසයක් හේතුවෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

කුඩා දරුවන් අතරේ මෙම වෛරසය පැතිර යාම බහුලවී ඇති හෙයින් පසුගිය මාසය තුළ පමණක් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 5 කි. ගාල්ල, මාතර, හම්බන්තොට ප්‍රදේශවලින් ගාල්ල කරාපිටිය රෝහල වෙත මේ දිනවල බහුල වශයෙන් උණ වැළදුණු රෝගීන් පැමිණෙති. අවුරුදු 2, 3 හා ඉපදී මාස 6 ට අඩු දරුවන් මෙම රෝගීන් අතර සිටින බව වෛද්‍යවරුන් සඳහන් කළහ. තද උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව මෙම රෝගයේ ලක්ෂණ ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. මාතර, අකුරැස්ස හොරොගඩ ප්‍රදේශයේ මාස 6 ක් වයසැති දරුවෙක් පසුගිය 10 වන දා මියගොස් තිබුණේ, උණ වැලදී රෝහල්ගත කිරීමෙන් පසුවයි. පසුගිය මස 25 වන දා ගාල්ල කරාපිටිය රෝහලට දරුවා ඇතුළත් කර ඇති අතර සතියකට පසු කොළඹ ළමා රෝහල වෙත මාරු කර එවා ඇත. දරුවාගේ මරණ පරීක්ෂණ සහතිකයේ සඳහන් වන්නේ, නියුමෝනියා තත්ත්වයක් ඇතිවීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මේ අතර වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ මාස 9 ක් වයසැති දරුවෙකු ද පසුගියා සෙනසුරාදා මිය ගියේ ය. දරුවා පසුගිය මස 23 වැන දා මාතර මහරෝහලට ඇතුළත් කර පසුව ගාල්ල කරාපිටිය රෝහලට මාරු කර එවා තිබේ. මෙම මරණය ද නියුමෝනියා තත්ත්වයක් නිසා සිදුවී ඇතැයි මරණ පරීක්ෂණ සහතිකයේ සඳහන් වේ. දකුණු පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කළේ, උණ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා සෑම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයකම කාර්ය මණ්ඩල දැනුම්වත් කර ඇති බවයි. මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදු වූ මරණ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, වෛද්‍ය පර්යේෂණ ආයාතනය හා කරාපිටිය රෝහලේ ක්ෂුද්‍ර විද්‍යාව පිළිබඳ විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් මෙම පරීක්ෂණය පැවැත්වෙන බව ය.