සිංගප්පූරු ගිවිසුමේ ඇතුළාන්තය..

සිංගප්පූරු ගිවිසුමේ ඇතුළාන්තය..

by Hashini De Mel 16-05-2018 | 9:41 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සිංගප්පුරු සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමට විරෝධයක පළ කරමින් හෙට දිනයේ සංකේත වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ,
අපේ රටේ ආර්ථික ස්වාධීනත්වය සදාකාලික ලෙස සෘජු ලෙස සිංගප්පූරුවටත් අනියම් ලෙස වෙනත් විදේශික ජාතිකයන්ටත් පවරාදීම මේ ගිවිසුම හරහා මලික් සමරවික්‍රම ඇමතිතුමායි එතුමාගේ උපදේශක නඩයයි බොහොම නිර්ලජ්ජිත විදිහට කටයුතු කරලා තියෙනවා රටම රවට්ටලාමේ සිංගප්පූරුව ගැන කතාව. එතනින් නතර වෙලා නෑ මේ කණ්ඩායම. දැන් මේක අත්සන් කරලා රට තුල බරපතළ විරෝධයක් පලවෙලා තියෙද්දි මේ තියෙන තත්ත්වය යටතේ තමයි මේ පාඩම් සේරම පැත්තකින් තියලා එට්කා ගිවිසුම අවසන් කිරීම සඳහා දින වකවානු නියම කරන්නෙ. නැවතත් කවුද මලික් සමරවික්‍රම මහත්තයයි, චාන්දනී විජේවර්ධන මහත්මියයි, මේ උපදේශක නඩයයි. මේ සියලු කරුණු සලකලා බැලුවහම අපිට පේනවා අපිට තවදුරටත් ඇස් කන් පියාගෙන මේ දිහා බලාගෙන ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ තියෙන තත්ත්වයන් යටතේ මේ වෙනකොට තීන්දු තීරණය කරලා තියෙනවා අපි මුලින් ප්‍රකාශයට පත් කරපු විදිහටම. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කරනු ලබන දීප ව්‍යාප්ත එක් දින වැඩවර්ජන ක්‍රියාමාර්ගය හෙට උදේ අටේ සිට ආරම්භ වෙනවා. ඉතාම පැහැදිලිව මේ මොහොතෙත් අපි බලාගෙන ඉන්නවා අතිගරු ජනාධිපතිතුමා විදිහට එතුමාගෙන් මොනවගේ ප්‍රතිචාරද එන්නෙ කියලා. ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව මේ ගිවිසුම බලාත්මක නොකරන බවට පැහැදිලි ප්‍රතිඥාවක් එතුමාගෙන් ඉදිරිපත් වෙයි කියන කාරනේ සම්බන්ධයෙන් අපි බොහොම විමසිල්ලෙන් ඉන්නවා
සිංගප්පුරුව සමග ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සැක සහිත කරුණු දිගින් දිගටම මතු වෙමින් පවති. 2018 ජනවාරි 8 වන දා ජනධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන සංදේශයක දැක්වෙන්නේ 2017 වසරේ ජුලි මාසයේදී කැබිනට් මණ්ඩලය එකඟ වූ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය අනුව සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සකස් විය යුතු බවයි. 2018 ජනවාරි 08 වැනි දින දරන ජනාධිපතිවරයාගේ ලිපියට මසකට පසුව එනම් පෙබරවාරි 04 වන දා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර මහතා පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ, ශ්‍රී ලංකාව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා ඉතා ඉක්මනින් කටයුතු කළ යුතු බවයි. නමුත් 2017 ජුලි මාසය සඳහා වූ කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදන පරීක්ෂා කරන විට පෙනී යන්නේ එවන් තීරණයක් කැබිනට් මණ්ඩලය විසින් ගෙන නැති බවයි.