ගිනිඅවියක් හා හෙරොයින් සමග 6ක් අත්අඩංගුවට

ගිනිඅවියක් හා හෙරොයින් සමග 6ක් අත්අඩංගුවට

by Staff writer 16-05-2018 | 11:56 AM
COLOMBO (News 1st) - ගිනිඅවියක් හා හෙරොයින් සමග සැකකරුවන් 06 දෙනෙකු පෑලියගොඩ පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කිසියම් පිරිසක් තමන්ට වෙඩි තැබීමට පැමිණෙන බව සඳහන් කරමින් ඔවුන් මෝටර් රථයකින් පොලීසියට පැමිණ ඇති බව ය. පසුව පොලීසියට එම පිරිස සම්බන්ධයෙන් සැක සිතී මෝටර් රථය පරීක්ෂා කර ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 04ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් හා එම උණ්ඩ 3ක් මෙන් ම ගංජා ග්‍රෑම් 19ක් ද සොයා ගෙන තිබේ. අවුරුදු 23, 25, 26 හා 27 යන වයස්වල පසුවන සැකකරුවන් කැලණිය වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර හෙරොයින් ජාවාරමේ යෙදුණු සැකකරුවන් 3 දෙනෙකු හා සැකකාරියක ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේදී මොටර් රථයක් පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 750කි. වටරැක හා මීගොඩ ප්‍රදේශවල පදිංචි එම සැකකරුවන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.