උතුරු සහ දකුණු කොරියා රාජ්‍යයන් අතර යළි අර්බුදයක්

උතුරු සහ දකුණු කොරියා රාජ්‍යයන් අතර යළිත් අර්බුදයක්

by Staff writer 16-05-2018 | 8:41 AM
(News 1st) - දකුණු කොරියාව සමග පැවැත්වීමට නියමිතව තිබූ සියලු සාකච්ඡා නතර කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබේ. ඒ දකුණු කොරියාව, අමෙරිකාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාස පැවත්වීමට කටයුතු කිරීම පිළිබඳව උතුරු කොරියානු නායකයා කෝපයට පත් වීමත් සමගිනි. මීට සති කිහිපයකට පෙරදී උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර හමුවක් පැවති අතර දෙරට අතර සාමයේ දෑත් දිගු කරමින් ආරම්භ වූ සුබවාදී ආකල්පයන් මේ වන විටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවට වාර්තා වේ. උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු කොරියාව සහ අමෙරිකාව යුද අභ්‍යාසවල නිරත වීම උතුරු කොරියාව ප්‍රකෝප කීරීමක් සහ ආක්‍රමණයක් සඳහා පෙරහුරුවක් බව ය. මැක්ස් තන්ඩර් නමින් හැඳින්වූ මෙම යුද අභ්‍යාසය සඳහා අමෙරිකාවේ ගුවන් යානා 100කට අධික සංඛ්‍යාවක් යොදා ගන්නා අතර ඒ සඳහා බී 52 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානා, ප්‍රහාරක ජෙට් යානා රැසක් සහ සෙබලුන් 1200කට අධික පිරිසක් සහභාගී වෙති. මෙම සිදුවීමත් සමග ජූනි 12 වන දා උතුරු කොරියානු නායකයා සහ අමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේදී පැවැත්වීමට යෝජිත ඓතිහාසික සාකච්ඡා පවා අවසන් වීමේ ඉඩකඩක් ඇති බව විදෙස් මාධ්‍යන්හි වැඩිදුරටත් සඳහන් ය. පසුගිය මාර්තු මාසයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමග සාකච්ඡා පැවැත්වීමට කළ ආරාධනය අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමත් සමග ලොව සියල්ලන් මවිතයට පත් කළේ ය. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, මෙම අවස්ථාව ලෝක සාමය උදෙසා ඉතාම සුවිශේෂී මොහොතක් බවට පත් කළ හැකි බව ය.