කර්ණාටක බලය භාරතීය ජනතා පක්ෂයට ගිලිහෙන ලකුණු

භාරතීය ජනතා පක්ෂයට කර්ණාටක ප්‍රාන්ත සභාවේ බලය ගිලිහෙන ලකුණු

by Hashini De Mel 15-05-2018 | 8:24 PM

(News 1st) කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණයෙන් තනි පක්ෂයක් ලෙස වැඩි ආසන සංඛයාවක් ජයග්‍රහණය කළ ද පාලක භාරතීය ජනතා පක්ෂයට, ප්‍රාන්තයේ පාලන බලය අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව තිබේ.

ඒ, කොංග්‍රස් පක්ෂය, ජනතා දාල් පක්ෂය සමග සන්ධානගත වන බව ප්‍රකාශ කිරීමෙන් පසුවයි. ආසන 224 කින් සමන්විත කර්ණාටක ප්‍රාන්ත සභාවේ පාලන බලය හිමිකර ගැනීම සඳහා ආසන 112 ට වැඩි බහුතර බලයක් අවශ්‍ය වේ . ඉන් භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය කළ හැකිවූයේ ආසන 104 ක් පමණි. කොංග්‍රස් පක්ෂය, ආසන 78 ක් ජයගත් අතර ජනතා දාල් පක්ෂය ආසන 37 ක් ජය ගත්තේ ය. ඒ අනුව එම පක්ෂ දෙකට හිමි ආසන සංඛ්‍යාව ආසන 115 කි . සන්ධානගත වී නව ප්‍රාන්ත ආණ්ඩුවක් පිහිටුවීමට කොංග්‍රසය දරන උත්සාහය පස්සදොරෙන් පාලන බලය ලබා ගැනීමේ උත්සාහයක් බවට භාරතීය ජනතා පක්ෂය චෝදනා කරයි. මේ අතර නව ප්‍රාන්ත රජයක් පිහිටුවීම සඳහා අද පස්වරුවේ කර්ණාටක ආණ්ඩුකාරවරයා හමුවීමට අපේක්ෂා කරන බව ජනතා දාල් පක්ෂ නායක එච්. ඩී. කුමාරස්වාමී ප්‍රකාශ කළේ ය.