ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමේත් ගැටලුවක් ?

ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමේත් ගැටලුවක් ?

by Hashini De Mel 14-05-2018 | 10:33 PM

COLOMBO (News 1st) - සිංගප්පුරු සහ ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් සිංගප්පුරු ජාතිකයින්ට සහ සිංගප්පුරුවේ ස්ථිර පදිංචි පුද්ගලයින්ට මෙරට රැකියා අවස්ථා විවෘත වන බව විවිධ සංවිධානයන්හි වෘත්තියවේදීන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. අප මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳව විරෝධය දැක්වීමට නොව, මහජනතාව දැනුවත් කිරීම මාධ්‍ය ආයතනයක් වශයෙන් අප සතු වගකීමක් ලෙස සළකමිනි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය පැවසුවේ, මෙරට අයෝජන සිදු කරන සිංගප්පුරු සමාගමක ශාඛා අතර හුවමාරු වන කළමනාකරුවන්, විධායකයන් හා විශේෂඥයින් යන ඉහළ නිලධාරී මට්ටමේ සේවය කරන සිංගප්පුරු ජාතිකයින් සඳහා පමණක්ම සීමා කොට මෙරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදී ඇති බවයි. එමෙන්ම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, එවැනි සේවකයින් අවම වශයෙන් අදාළ ආයතනයේ මාස 12 ක කාලයක් සේවයේ නිරතව සිටිය යුතු බව ය. මෙම ගිවිසුමෙන් කුසලතාවයන්ට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් කටයුතු සැලසුම් කර ඇති බව ද අමාත්‍යංශය පවසයි.