ලසන්ත ඝාතනයේ තොරතුරු සැඟවූ නි.පොලිස්පති රිමාන්ඩ්

ලසන්ත ඝාතනයේ තොරතුරු සැඟවූ නි.පොලිස්පති යළි ත් රිමාන්ඩ්

by Hashini De Mel 14-05-2018 | 6:16 PM

COLOMBO (News 1st) - ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය පිළිබඳ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සහ විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන මහත්වරුන් ලබන 25 වන දා තෙක් අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ, අදාළ නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි. තුන්වැනි සැකකරු වන නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ මහතා අද දින තම සේවා දායකයා ඇප මත මුදා හරින ලෙසට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේ ය. නමුත් අනුර මැදගොඩ මහතා අසනීපව සිටින බැවින් ඒ වෙනුවෙන් කරුණු දැක්වීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිඥ සාරංග වෙදසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම පිළිබඳ සලකා බැලු අධිකරණය ලබන 25 වැනි දිනට පැමිණිල්ල කැඳවීම කල් තබා තිබේ. දෙවන සැකකරු වන පොලිස් පරීක්ෂක තිස්ස සුගතාපාල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරතුංග මහතා තම සේවා දායකයා වෙනුවෙන් මීළඟ නඩු දිනයේදී ඇප ඉල්ලීමට බලාපොරොත්තු වන බව කියා සිටියේ ය. සැකකරුවන් දෙදෙනා ලබන 25 වන දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියම කළේ ය.