බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි

බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි

by Sagarika Chathumali 14-05-2018 | 11:58 AM
සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. කළමනාකරුවෙක් හා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් රග්බි කණ්ඩායමක් පසුගිය සතියේ මෙරටට පැමිණියහ. පොලීසිය පැවසුවේ, පසුගිය 12 වන දා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවැති එම සුහද තරගාවලියකට ඔවුන් සහභාගී වී ඇති බවයි. ඔවුන් ක්‍රීඩා සංකීර්ණයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වී තිබේ. අනතුරුව ඔවුන් නැවති සිටි හෝටලයට පැමිණ රාත්‍රී 10. 30 ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති බව පොලිස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. ඊයේ දිනයේ අලුයම 4 ට පමණ හෝටලයට පැමිණි ක්‍රීඩකයින් දෙදෙනෙකු උදෑසන 10 ට පමණ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ප්‍රතිකාර ලබමින් සිටියදී එක් ක්‍රීඩකයෙකු දහවල් 12 ට පමණ මියගොස් ඇති අතර මිය ගිය ක්‍රීඩකයා වයස අවුරුදු 26 හැවිරිදි හාවඩ් තෝමස් ඇනඩෘ නම් පුද්ගලයෙකි. අනෙක් ක්‍රීඩකයා අසාධ්‍ය තත්ත්වයෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු 27 හැවිරිදි බෙට් තෝමස් රීඩ් යන පුද්ගලයෙකි.