ඉන්ධන මිල වැඩි කිරීමෙන් අමාරුවේ වැටුණු ක්ෂේත්‍ර

ඉන්ධන මිල වැඩි කිරීමෙන් අමාරුවේ වැටුණු ප්‍රවාහන, බලශක්ති හා ධීවර ක්ෂේත්‍රය

by Hashini De Mel 14-05-2018 | 10:03 PM

COLOMBO (News 1st) - ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමග ප්‍රවාහන, බලශක්ති හා ධීවර ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල විය.

පෞද්ගලික බස් රථ හිමියන් බස් ගස්තු වැඩි කිරීමට යෝජනා කරද්දී ධීවරයින් සහනාධාර වෙනුවට පැවති මිලට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලීම් කළහ. පසුගිය 10 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඩීසල් ලීටරයක් රුපියල් 14 කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 57 කින් ඉහළ නැගිනි. මෙයින් දැඩි බලපෑමක් එල්ලවන ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත පෞද්ගලික බස් සංගම් සිය ගාස්තු 10% - 15% ත් ප්‍රමාණයකින් ඉහළ නංවන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කළහ. මේ පිළිබඳ තීරණයක් ගැනීමට අද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් බස් සංගම් නියෝජිතයින් පැවත් වූ සාකච්ජාවේදී තීරණය වී ඇත්තේ හෙට දිනයේ ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ය. ඒ මේ පිළිබඳ කැබිනට් මණ්ඩලය ගන්නා තීරණයෙන් අනතුරුව බව අමාත්‍යාංශ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ ය. මේ අතර මීගමුව, හලාවත, පුත්තලම හා යාපනය ප්‍රදේශවල ධීවරයින්ගෙන් බහුතරයක් අද මුහුදු යෑමෙන් වැලකි සිටියහ. ඒ, තමන්ට පැවති මිලට ඩීසල් ලබාදෙන ලෙස ඉල්ලමිනි. මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී භූමිතෙල් මිල 127% කින් ඉහළ නැගිනි. ඒ ධීවරයින් මෙන්ම විදුලිබලය නොමැති දිවයිනේ බොහෝ නිවාසවල ජනතාව තම බලශක්ති අවශ්‍යතාව සඳහා භූමිතෙල් බහුලව භාවිතා කරන තත්ත්වයක් හමුවේයි. අඩු ආදායම් ලාභි විදුලිය නොමැති පවුල් ඒකක සහ භූමිතෙල් භාවිත කරන භූමිතෙල් භාවිත කරන ධීවරයින්ට භූමිතෙල් සහනාධාරය තවදුරටත් ලබාදීමට රජය තීරණය කළේ ය. ඊට අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ ගිනුම්වලට සෘජුව බැර කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය නිකුත් කර නිවේදනයේ සඳහන් වේ.