පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී සූදු පොළේ සැකකරු මරුදකී ..?

පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී සූදු පොළේ සැකකරු මරුදකී ..?

පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී සූදු පොළේ සැකකරු මරුදකී ..?

කර්තෘ Sagarika Chathumali

14 May, 2018 | 9:47 am

COLOMBO (News 1st) : ඌරගස්මන්හන්දිය, කළුවලගොඩ ප්‍රදේශයේ සූදූ ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයින් සොයා කළ හදිසි වැටලීමකදි එක් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රී 11.00ට පමණ  මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් හා සූදු ක්‍රීඩාවේ යෙදුන පිරිසක් අතර ඇතිවූ පොරබැදීමකදී පොලිස් පරීක්ෂකවරයෙකු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මකවී ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර පොලීසිය පවසන්නේ, එහි සිටි පුද්ගලයින් පිරිසක් කළ පහරදීමකින් පොලිස් නිලධාරින් 5 දෙනෙකු  ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස් නිලධාරීන්ට සූදු  ක්‍රීඩාවේ නිරතවූ පිරිස බාධා කර නිලධාරීන්  කඩු සහ පොලුවලින් පහර දී ඇති බවයි.

එම අවස්ථාවේ පොලීසිය හා අදාළ පිරිස් අතර පොරබැදීමක්  සිදුව ඇති බව ත් එහිදී පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

ඔහුගේ මළ සිරුර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබේ.

අවමගුල් නිවසක, 7 දින දානමය පිංකම අවසන් වී පුද්ගලයින් පිරිසක් සූදු ක්‍රීඩාවේ යෙදී සිට ඇති අතර එම ස්ථානයට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පැමිණිමෙන් පසු මෙම තත්ත්වය උද්ගතවු බව ප්‍රදේශවාසීහු සඳහන් කළහ.