හදිසි වර්ජනයට මුහුණ දුන් දුම්රිය මගීන්ට සහනයක්

හදිසි වර්ජනයෙන් අපහසුතාවට පත් වූ දුම්රිය මගීන්ට ප්‍රවේශපත්‍ර මුදල් යළි ලබා දීමට පියවර

by Chathuranga Rajapaksha 13-05-2018 | 8:01 AM
COLOMBO (News 1st) - හදිසි වර්ජනයක් හේතුවෙන් පෙරේදා බදුල්ල - කොළඹ සහ කොළඹ - බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය දෙකේ මගීන් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තු ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි ගමනාගමන අධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේ අදාළ දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ නවතා දැමීම හේතුවෙන්, නාවලපිටියේ සිට ගමනාන්ත දක්වා ප්‍රවේශපත්‍ර ගාස්තු ගෙවීමට පියවර ගෙන ඇති බව ය. ඒ අනුව, අදාළ මඟින් සතු ප්‍රවේශපත්‍රය ඕනෑම දුම්රිය ස්ථානයකට ඉදිරිපත් කිරිමෙන් පසු අදාළ මුදල් ලබා ගත හැකි බව ද, ඔහු සඳහන් කළේය. මේ අතර, අදාළ සිද්ධියට වගකිවයුතු නාවලපිටිය දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු භාර නිළධාරීවරයා සහ ඊට සම්බන්ධ නිළධාරීන් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ගාමිණි සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ, නියෝජ්‍ය ගමනාගමන අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් විමර්ශන ක්‍රියාත්මක බව ය. විමර්ශන වාර්තා ලැබීමෙන් පසු, ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද, ඔහු සඳහන් කළේය. මේ අතර හදිසි වර්ජනයක් සඳහා එක්වෙමින් සේවය පැහැර හැරි මහනුවර, රඹුක්කන, අලුත්ගම සහ මරදාන දුම්රිය ස්ථානවල සේවකයින් සම්බන්ධයෙන් ද විනය පරික්ෂණ ආරම්භ කරන බව ද ගමනාගමන අධිකාරිවරයා සඳහන් කළේය. දුම්රිය නියාමකවරයෙකු, ස්ථානාධිපතිවරයෙකුට බැන වැදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් රඹුක්කන සිට උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය ස්ථානවල සේවකයින් පෙරේදා අලුයම හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය. ඒ හේතුවෙන්, මගීන් දැඩි අපහසුතාවයකට පත්වූහ.