පොහොර ලබාදීමේ නව ක්‍රමවේදයක් පිළිබඳ රජයේ අවධානය

පොහොර ලබාදීමේ නව ක්‍රමවේදයක් පිළිබඳ රජයේ අවධානය

by Hashini De Mel 13-05-2018 | 5:39 PM

COLOMBO (News 1st) - ගොවීන් සඳහා පොහොර ලබාදීමේ නව ක්‍රමවේදයක් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ගොවීන් සමග සාකච්ඡා කරන බවයි. නව ක්‍රමවේදය මහ කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර පොහොර ආනයනකරුවන් සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, මේ වන විට ලියාපදිංචි ආනයනකරුවන් සංඛ්‍යාව 12 ක් බවයි. ලියාපදිංචි පෞද්ගලික අංශයේ ආනයනකරුවන් සඳහා සීමාවකින් තොරව, පොහොර ගෙන්වීමට අවසර ලබාදීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, පෞද්ගලික අංශය මගින් ආනයනය කෙරෙන පොහොර නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර ද යන්න දැඩිව පරීක්ෂා කරන බවයි.