නව අමාත්‍යාංශ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය

නව අමාත්‍යාංශවල විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

by Chathuranga Rajapaksha 13-05-2018 | 8:42 AM
COLOMBO (News 1st) - නව අමාත්‍යාංශවලට අදාළ සංශෝධිත විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී මහත්මිය සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ ගැසට් පත්‍රය නිකුත් කළ බව ය. නව සංශෝධිත විෂය පථයන් අනුව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ විෂය පථයට අයත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ඉවත්කර තිබේ. සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන අමාත්‍යංශය යටතේ පැවති විෂයන් අමාත්‍යංශ දෙකක් යටතේ ගැසට් කර තිබේ. ඒ අනුව , සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික සමාජ සංවර්ධන ආයතනය, ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතන සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය යි. සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතට අලුතින් එක්වී ඇති විෂයන් වන්නේ, වැඩිහිටි තැනැත්තන් සඳහාවන ජාතික සභාව, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, ආබාධිත සහිත තැනැත්තන් සඳහාවන ජාතික මහලේකම් කාර්යාල හා ආබාධිත තැනැතන් සඳහාවන ජාතික සභාවයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති හිඟුරාන සීනි කර්මාන්ත සමාගම, ලංකා සීනි පුද්ගලික සමාගම හා ජාතික කඩදාසි සංස්ථාව ඉන් ඉවත් කර රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශ යටතේ ගැසට් කර තිබේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති උක් පර්යේෂණ ආයතනය ද ගැසට් කර ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතේදී ය. රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවති හොටෙල් ඩිවලපර්ස් පුද්ගලික සමාගම ඉන් ඉවත් කර තිබේ. කෙසේ වෙතත් සියලුම රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා පුද්ගලික සමාගම තව දුරට ත් ක්‍රියාත්මක වන්නේ මෙම අමාත්‍යාංශය යටතේදී ය. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙතෙක් කලක් පැවති වී අලෙවි මණ්ඩලය හා හදබිම කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ගැසට් කර තිබේ. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යටතේ පැවති, මහපොළ භාරකාර අරමුදල සහ ඊට සම්බන්ධ කාර්යන් ඉවත් කර එය උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පවරා තිබේ.